පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයෑම් අවදානම් කලාපවල පදිංචි හා බලපෑමට ලක්වන පුද්ගලයින් සහ සියලු පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (11) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම වැඩසටහන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ. ජී. ධර්මතිලක මහතා සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කොළඹ–මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ කිලෝමීටර් 96 කණුවේ සිට කිලෝමීටර් 99 කණුව දක්වා ආශ්රිත ප්‍රදේශයේ සිදුවූ නායයෑම හේතුවෙන් ඇතිවී ඇති අවදානම අවම කිරීම සඳහා එම ස්ථානයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ස්ථායිකරණ ක්‍රමවේද පිළිබඳවත්, ස්ථායිකරණ ක්‍රමවේද මගින් නායයෑම් අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතිය (RLVMMP) යටතේ සිදු කිරීමට නියමිත ඉදිරි කටයුතු සහ ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු පිළිබඳවත් මෙහිදී පාර්ශ්වකරුවන් දැනුවත් කරන ලදී.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) විසින් සකස් කරන ලද නායයෑම් ආපදා කලාප සිතියම් මෙන්ම පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මීට පෙර සිදුවූ නායයෑම් සහ දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇතිවූ නායයෑම් තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, කොළඹ–මහනුවර මාර්ගයේ කිලෝමීටර් 96 කණුවේ සිට කිලෝමීටර් 99 කණුව දක්වා වූ ප්‍රදේශය මේ වන විට අධි අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇත.
ඒ අනුව, හඳුනාගත් ප්‍රදේශ ආවරණය වන පරිදි කලාප හතරක් සඳහා ස්ථායිකරණ ක්‍රමවේද මගින් නායයෑම් අවදානම අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 80ක විදේශ ණය ආධාරයක් (AAIB) සහ ශ්‍රී ලංකා රජය විසින් දරනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 21.3ක මුදලක් ඇතුළුව, සමස්ත ඇස්තමේන්තුගත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 101.3කි. ව්‍යාපෘතියේ කටයුතු 2027 දෙසැම්බර් මාසය වන විට අවසන් කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතියට අදාළව ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්යභාරය හා වගකීම් එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා විසින් පැහැදිලි කරන ලදී. ස්ථායිකරණ ක්‍රමවේද මගින් නායයෑම් අවදානම අවම කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව එහි අධ්යක්ෂ ඉංජිනේරු ඒ. ඒ. විරාජ් ඩයස් මහතා විසින් පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. එමෙන්ම ව්‍යාපෘතියට අදාළ සැලසුම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ඉංජිනේරු ආචාර්ය මිහිර ලක්රුවන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
ව්‍යාපෘතියේ පාරිසරික හා සමාජීය කරුණු පිළිබඳවද, ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක්වන අධි අවදානම් නිවාස සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජිත ඉඩම් අත්පත් කර ගැනීමේ වැඩසටහන පිළිබඳවද මෙහිදී සහභාගී වූ පිරිස දැනුවත් කරන ලදී.
එමෙන්ම මෙම සාකච්ඡාවට සමගාමීව, එම ප්‍රදේශවල බලපෑමට ලක්වන පුද්ගලයින්ට තමන් මුහුණ දෙන ගැටලු ඉදිරිපත් කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය විසඳුම් සහ පැහැදිලි කිරීම් ලබා ගැනීමටත් අවස්ථාව සලසා දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී අනුර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත මහතා, මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් විජයානි රත්නසේකර මහත්මිය, ස්ථායිකරණ ක්‍රමවේද මගින් නායයෑම් අවදානම අවම කිරීමේ ව්‍යාපෘතියේ නිලධාරීන්, මෙම ව්‍යාපෘතිය සමඟ සෘජුව සම්බන්ධ වන රාජ්‍ය ආයතනවල නිලධාරීන් සහ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ බලපෑමට ලක්වන පුද්ගලයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


























