මෙම වසරේ තෙවන කාර්තුවට අදාළ දිස්ත්‍රික් ළමා හා කාන්තා කමිටු රැස්වීම අද (24) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී දිස්ත්‍රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී මූලික වශයෙන් පසුගිය කමිටු රැස්වීමේදී සාකච්ඡා කළ කරුණුවල ප්‍රගතිය පිළිබඳව සමාලෝචනය කරන ලදී. අනතුරුව, ළමා ආරක්ෂාව හා සංවර්ධනය යටතේ සෞඛ්‍ය, පෝෂණ හා මානසික සංවර්ධනය පිළිබඳවත්, ළමා අපයෝජන හා අපචාර සම්බන්ධයෙන් සිදුකරන මැදිහත්වීම් පිළිබඳවත් විශේෂ අවධානය යොමු කෙරිණි.

අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රය තුළ මේ වන විට නව වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අපයෝජනයට ලක්ව රෝහල්ගත වන දරු දැරියන් සම්බන්ධ තොරතුරු ඉදිරියේදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හරහා පමණක් ලබා ගැනීමට හැකි වන බව මෙහිදී ප්‍රකාශ විය. මෙම වැඩපිළිවෙළ මගින් වින්දිත දරුවාට සිදුවන මානසික පීඩනය අවම කිරීමත්, ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමත් අරමුණු කර ඇත.

පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ දරුවන් හඳුනාගෙන ඔවුන් දැනුවත් කිරීම හෝ පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණි. එමෙන්ම පාසල් වේලාවට පෙර හා පසුව පාසල් දරුවන් නිවාසවලින් බැහැරව හා පොදු ස්ථානවල සැරිසැරීම සම්බන්ධයෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද අවධානය යොමු විය.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාළව ශ්‍රී ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින්ම එක් ග්‍රාම නිලධාරී වසමක් තෝරාගෙන පූර්ණ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා නව වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවද මෙහිදී ප්‍රකාශ විය. ඒ සඳහා අදාළ නිලධාරීන් පුහුණු කිරීම එළඹෙන මස පළමු සතිය තුළ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කෙරිණි.

මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් 70%කට වඩා ලකුණු ලබාගත් සිසුන්ගේ ප්‍රතිශතය අනුව කෑගල්ල දිස්ත්‍රික්කය දිවයිනේ පළමු ස්ථානයට පත්ව ඇති බවද මෙහිදී සඳහන් විය. එමෙන්ම 2025 වසරට සාපේක්ෂව 2026 වසරේදී දිස්ත්‍රික්කය තුළ ළමා අපයෝජන සිද්ධීන් අවම මට්ටමක පවතින බවද අනාවරණය විය.

රාජ්‍ය නොවන සංවිධාන සහ අනෙකුත් ආයතන මගින් ක්‍රියාත්මක කරනු ලබන ළමා හා කාන්තා විෂයට අදාළ වැඩසටහන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික් සැලැස්මට අනුව ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ද කමිටු සාමාජිකයින් දැනුවත් කරන ලදී.

2026 වර්ෂය තුළ දිස්ත්‍රික්කයේ උපත් ලියාපදිංචි කර නොමැති ළමුන්ගේ උපත් ලියාපදිංචි කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මීට අමතරව දිස්ත්‍රික්කයේ ළමා හා කාන්තා විෂයන්ට අදාළ විශේෂ කරුණු, ගැටලු සහ යෝජනා පිළිබඳවද දීර්ඝව සාකච්ඡා කෙරිණි.

මෙම කමිටු රැස්වීම දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී කාන්ති හේරත් මහත්මිය ඇතුළු අදාළ අංශය විසින් සංවිධානය කරන ලදී.

අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බණ්ඩාර මහත්මිය, ප්‍රාදේශීය ලේකම්වරුන්, පළාත් පරිවාස කොමසාරිස්තුමිය සහ දිස්ත්‍රික්කයේ ළමා හා කාන්තා විෂයට අදාළ ආයතන හා දෙපාර්තමේන්තුවල නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.