සෑම පරිපාලන දිස්ත්‍රික්කයකම ආබාධ සහිත දරුවන් සඳහා “සුරක්ෂා” කුසලතා සංවර්ධන දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ දිවයිනේ ඉදි කරන ලද දෙවන මධ්‍යස්ථානය අද (29) කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝලංගමුව ප්‍රදේශයේදී ජනතා අයිතියට පත් කෙරිණි.

මෙම වැඩසටහන ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය, සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් මෙහෙයවීම හා සම්බන්ධීකරණය යටතේ ක්‍රියාත්මක කරනු ලබයි.

ආබාධ සහිත දරුවන් සමාජගත කරමින් ඔවුන් සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ දෙමාපියන්ට සහායක් ලබාදීමේ අරමුණින් මෙම කුසලතා සංවර්ධන දිවා සුරැකුම් මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ. ඒ අනුව රජයේ “නිර්බාධිත සමාජ ජීවිතයක් – යුක්තිසහගත සම ප්‍රවේශයක්” යන ප්‍රතිපත්තිය යථාර්ථයක් බවට පත් කිරීම මෙහි අරමුණ වේ. ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ රුපියල් මිලියන 17කට අධික ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, අද දිනයේදී පළමු දරුවන් 23 දෙනා මධ්‍යස්ථානයේ ලියාපදිංචි කරන ලදී. ව්‍යාපෘතියේ දෙවන අදියර අවසන් වූ පසු ආබාධ සහිත දරුවන් 100 දෙනෙකු සඳහා පහසුකම් සැලසීමට මෙම මධ්‍යස්ථානයට හැකියාව ලැබෙනු ඇත.

ආබාධ සහිත දරුවෙකු රැකබලා ගැනීම යනු දෙමාපියන්ට පූර්ණ කාලීනව දරුවා කෙරෙහි අවධානය යොමු කරමින් ඉටු කළ යුතු වගකීමකි. රජයේ පූර්ණ අධීක්ෂණය යටතේ විධිමත් ක්‍රමවේදයන් හා පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් යටතේ මෙම “සුරක්ෂා” දිවා සුරැකුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන බැවින්, ආබාධ සහිත දරුවන් සිටින දෙමාපියන්ට විශ්වාසයෙන් යුතුව තම දරුවන් මෙම මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට හැකි වේ. ඒ තුළින් දෙමාපියන්ට රැකියා සහ අනෙකුත් ආර්ථික කටයුතු සඳහා සම්බන්ධ වී රටේ ආර්ථිකය සවිබල ගැන්වීමට දායක වීමටද අවස්ථාව සැලසේ.

මෙම අවස්ථාව ආබාධ සහිත දරුවන් විසින් ඉදිරිපත් කරන ලද විචිත්‍රවත් අංග රැසකින් සමන්විත වූ අතර, මධ්‍යස්ථානයේ සේවය කිරීම සඳහා දෛනික පදනම මත බඳවා ගත් කාර්ය මණ්ඩලය වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.

දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සරත් රණවීර මහතාගේ සම්බන්ධීකරණයෙන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සමාජ සේවා නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝජ් රාජපක්ෂ මහතා, ආචාර්ය නන්දන මිල්ලගල මහතා සහ කංචන වැලිපිටිය මහතා, කෑගල්ල නගරාධිපතිතුමා, වරකාපොල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන නාලිකා පියසේන මහත්මිය සහ රාධා නානායක්කාර මහත්මිය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බණ්ඩාර මහත්මිය, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දර්ශනී කරුණාරත්න මහත්මිය, වරකාපොල ප්‍රාදේශීය ලේකම් රංගන සජීව මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ආබාධ සහිත දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.