





අවදානම් ස්ථාන වල ජීවත්වන පුද්ගලයින් වහා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරන්නැයි දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දෙයි.
මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලකුණික තත්ත්වය හේතුවෙන් පස් කණ්ඩියක් කඩාවැටී අරණායක, දෙවනගල, දෙවනගල වසමේ එකම පවුලේ පදිංචි පුද්ගලයින් සිව් දෙනෙක් අද උදෑසන (05) ජීවිතක්ෂයට පත් වූ අතර ඔවුන්ගේ නිවස මුළුමනින්ම විනාශ වී තිබිණි.
මෙම ස්ථානයෙන් වහා ඉව්වත් වන්නැයි බලධාරීන් මෙම පවුල සඳහා අනතුරු හඟවා තිබියදී එම උපදෙස් නොතකා කටයුතු කිරීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස මෙම මරණ සිදුව ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය.
අද (05) පෙරවරුවේ මෙම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය , කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා පාලන) දිනීෂා එස් රත්නායක, අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසෙඩ් එම් ෆයිසාල්, දිස්ත්‍රික් ආපදා සහකාර අධ්යක්ෂ අනුෂ්ක චමිල යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ තවත් පුද්ගල මරණයක් වරකාපොළ අල්ගම වීරසූරියකන්ද ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය ද නිවසක් මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් සිදුව තිබේ. එම පුද්ගලයාට ද නිවස පිහිටා ඇති ස්ථානයෙන් වහා ඉවත් වන්නැයි ඊයේ හවසෙ වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අදාළ බලධාරීන් දැනුවත් කර තිබුණ ද එම උපදෙස් නොතකා හැර තිබිණි.
මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 108 ක පුද්ගලයින් 500 ක පමණ පිරිසක් පීඩාවට පත්ව ඇති බවත් එම පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කොට කඩිනම් සහන සැලසීමට පියවර ගෙන ඇති බවත් කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය.
දිස්ත්‍රික්කය තුළ අවදානම් ස්ථාව වල ජීවත්වන පුද්ගලයින් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමු කොට ඔවුන්ට සහන සැලසීමට පියවර ගන්නැයි දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දුන් බව ද ස්වාභාවික ආපදා හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ සඳහා වන්දි ගෙවීමේ කටයුතු ද විධිමත් ලෙස සිදු කෙරෙමින් පවතින බව ද දිසාපතිවරා විසින් අද (05) පස්වරුවේ මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී අනාවරණය කළේය.
එමෙන්ම අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්කයේ කටයුතු අඩපණ නොවී විධිමත්ව පවත්වා ගැනීම සඳහා දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීම රාජ්‍ය ආරක්ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සිදු කෙරෙමින් පවතින බව ද සබරගමු ආණ්ඩුකාර ටිකිරි කොබ්බැකඩුව මහතා සහ දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය දිස්ත්‍රික්කයේ කටයුතු යථා පරිදි පවත්වා ගැනීම සඳහා මහත් සහයක් ලබා දෙන බව ද දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා මෙහි දී සඳහන් කළේය. ඒ සඳහා ආරක්ෂක අංශ, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ආපදා නිලධාරීන් ඇතුළු මේ සම්බන්ධව කටයුතු කරන සියළු රජයේ නිලධාරීන් වෙත සිය ස්තූතිය පිරිනමන බව ද දිසාපතිවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම කාලගුණ තත්ත්වය පිළිබඳ අවධානයෙන් කටයුතු කොට මෙම වසංගත සමයේ සිය ආරක්ෂාව තහවුරු කර ගන්නැයි දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටී.

















