කාබනික පොහොර ව්‍යාප්තිය තුළින් හිරිත ශ්‍රි ලංකාවක් බිහි කිරිම රජයේ ප්‍රමුඛ කාර්ය වී ඇති අතර ඒ සඳහා ගොවි ජනතාව දැනුවත් කර ආකල්පමය වෙනසක් සමග ඉදිරියට යා යුතු යැයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් /දිසාපති මහින්ද එස් විසූරිය මහතා පැවසීය. ඒ මහතා මේ බව පවසා සිටියේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි අද (12) පස්වරුවේ පැවති දිස්ත්‍රික් කෘෂි කර්ම කමිටුවට සහභාගී වෙමින්ය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රසායනික පොහොර භාවිතය නවතා කාබනික කෘෂි ආර්ථික රටාවක් බිහි කිරීමේ දැවැන්ත ජාතික අරමුණ යථාර්ථයක් කිරිම සඳහා දීප ව්‍යාප්තව වැඩසටහන් ගණනාවක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒ සඳහා ජනතාවගේ විශේෂ උනන්දුවක් ද ඇති වෙමින් පවතී.

ඒ අනුව සබරගමු පළාත තුල ගොවියාට අවශ්‍ය කාබනික පොහොර හා කාබනික පලිබෝධනාශක ලබා දෙමින් නිරෝගීමත් පරපුරක් බිහි කිරිම සඳහා ගමින් ගමට පිබිදෙන "සජීව්‍යා" කාබනික වගා සංග්‍රාමය මේ වන විට සාර්ථකව තම සැලසුම් ක්‍රියාවට නංවමින් පවතින අතර එම වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේදි කෑගල්ල දිස්ත්‍රික්කය මුහුණ දෙන ගැටලු පිලිබඳවද මෙහිදි සාකච්ඡා විය.

මහා පරිමාන , සුළු පරිමාන හා දියර පොහොර නිෂ්පාදනය ලෙස ව්‍යවසායකයින් පිරිසක් මේ වන විට කාබනික පොහොර නිෂ්පාදන කටයුතු වල නියැලි ඇත. ඔවුන්ට අවශ්‍ය මග පෙන්විම හා උපදෙස් ලබා දිම කෘෂි කර්ම ක්ෂේත්‍රයට අදාල සියළුම නිලධාරින් වගකිම බවත් එම කටයුතු නිසි‌ ලෙස ඉටු වන්නේද යන්න නිරන්තරව අධික්ෂණය විය යුතු බවත් දිසාපතිතුමන් පැවසීය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 14 හිම තම බල ප්‍රදේශයට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණයත්, මේ වන විට නිෂ්පාදිත ප්‍රමාණයත්, උණ අවශ්‍යතාවය හා එම පොහොර ප්‍රමාණයන් සපයා ගන්නා ක්‍රමවේදයන් පිළිබදවත් මෙහිදි සාකච්ඡා විය.

නිෂ්පාදිත කාබනික පොහොර වල ප්‍රමිතිය පරික්ෂා කිරිම කඩිනමි කල යුතු අතරම කාබනික පොහොර වලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කිරිම් සිදු කරනවාද යන්න ගැන නිරන්තර අවධානයෙන් පසුවිමේ අවශ්‍යතාවය මෙහිදි පෙන්වා දුන්හ.

අපනයන කෘෂි කර්ම දෙපාර්තමේන්තුව, කුඩා තේවතු සංවර්ධන අධිකාරිය, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවෙහි වගාවන් සදහා අවශ්‍ය පොහොර ප්‍රමාණයන් පිළිබදවද මෙහිදි සාකච්ඡා විය.

වී වගාව සදහා යොදා ගන්නා කාබනික පොහොර සුපෝෂිත කර ගැනීම සඳහා නයිට්‍රජන් අඩංගු දියර පොහොර ලංකාවේ දියර පොහොර සමාගම් මගින් ලබා දෙන බවට දැනුම් දී ඇති බව පොහොර ලේකම් කාර්යාලයේ කෑගල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තෙම්න්තුව හරහා සමෘද්ධි පවුල් බල ගන්වමින් ණය පහසුකම් ලබා දීම,ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 ම ආවරණය වන පරිදි සෞභාග්‍යා ගෙවතු වැඩ සටහන ක්‍රියාත්මක බවත් , සත්ව හා ගොවිපොළ පුහුණු වැඩසටහන් සම්බන්ධිකරණය කිරීම් මෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය දිරි දිම් සිදු කෙරෙන බව ද ප්‍රකාශ කෙරිණි.

මෙහිදී ගොවි සංවිධාන නියෝජිතයින් විසින් පොහොර ආශ්‍රිතව පැන නැඟි ඇති ගැටලු පිළිබඳ අදහස් පල කරන ලදී.

මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් අතිරේක ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, කෑගල්ල දිස්ත්‍රික් අතිරේක ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ.වීරකෝන්, දිස්ත්‍රික් කෘෂි කර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද,දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පී කුසුම්සිරි, දිස්ත්‍රික් ආපදා සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල යන මහත්ම මහත්මීන් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් සාගරිකා මැදිවක, පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ,දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සහකාර අධ්‍යක්ෂ, සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, කෘෂිකර්මාන්තයට අදාල කේෂත්‍ර රැසක නිලධාරීන් පිරිසක් සහ ගොවි සංව්ධාන නියෝජිතයින් පිරිසක් සහභාගී වුහ.