නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන පාසල් අධ්‍යාපනය ලබන හා ඉන් ඉවත්ව යන ප්‍රජාව රටේ සංවර්ධනයට විධිමත් ලෙස දායක කර ගැනීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක නිපුණතා සංවර්ධන දිස්ත්‍රික් කමිටු වැඩසටහන්හි කෑගල්ල දිස්ත්‍රික් දෙවන හමුව අද (03) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී රැස්විය.
එහි පළමු රැස්වීම පසුගිය මාර්තු මස 16 වන දින පැවැත් වූ අතර එහිදී පිහිටුවා ගත් කමිටු 07 හි වත්මන් ප්‍රගතිය අද දින සමාලෝචනය කෙරිණි.

 

මෙම අවස්ථාවට එක්වෙමින් කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේ පාසල් ,විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ආයතන ඇතුළු විවිධ අධ්‍යාපන ආයතන ඔස්සේ වෘත්තිය ක්ෂේත්‍රයට පිවිසෙන මානව සම්පත නිසි පරිදි ආර්ථිකයට අන්තර් ග්‍රහණය කර ගැනීම ඉතා වැදගත් වන බව ය. ඒ ඔස්සේ රටේ ශ්‍රම බලකායට හොඳම වෘත්තිකයන් බිහි කරන දිස්ත්‍රික්කය ලෙස කෑගල්ල දිස්ත්‍රික්කය පත් කර ගැනීමට කටයුතු කළ යුතු බව ය .

ඒ අනුව ක්‍රියාත්මක අනුකමිටු ඔස්සේ සිදුවන කාර්යභාරය සංෂිප්තව පහත පරිදි වේ .

පාසල් අනු කමිටුව ඔස්සේ උසස් අධ්‍යාපනය ලබන හා අතරමගදී පාසල් හැර යන දරුවන් පිළිබඳ විමර්ශනය කිරීමත් ඒ සඳහා දත්ත පද්ධතියක් සැකසීමටත් පියවර ගැනේ. සිසු දරුවන්ට තම විෂයන් තෝරාගැනීම සම්බන්ධව පූර්ව දැනුවත් කිරීම් සිදු කිරීම ඇතුළු කරුණු කිහිපයක් කෙරෙහි මෙම කමිටුවේ අවධානය ඉදිරියේ දී යොමුවේ.

කර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ දත්ත පද්ධතියක් සැකසීම, දැනට පවතින සේවක ධාරිතාව හා සේවක අවශ්‍යතාවය, කර්මාන්තවල ප්‍රමිතිකරණය, ශ්‍රමිකයන්ගේ වෘත්තීය සුදුසුකම් වර්ධනය ඇතුළු කාරණා සම්බන්ධව කර්මාන්ත අනු කමිටුව විසින් සැලසුම් සකස් කෙරේ.

තෘතීක හා කාර්මික සංවර්ධන අනු කමිටුව හරහා කෑගල්ල දිස්ත්‍රික්කය තුළ පවතින වෘත්තීය පුහුණු ආයතනවල ගුණාත්මකභාවය, පවතින ක්‍රමවේද හා පැනනැගී ඇති ගැටළු, දිස්ත්‍රික්කයට ගැලපෙන පාඨමාලා හඳුනා ගැනීම, අතරමග දී පාඨමාලා හැර යන සිසුන් මෙන්ම වෘත්තීය පුහුණු ආයතන සිතියම් ගත කිරීම ඇතුළු කාරණා සම්බන්ධව කටයුතු කෙරේ .

සම්පත්තියත් යථාර්ථීකරණ අනුකමිටුව මගින් දිස්ත්‍රික්කයේ පවතින ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු ආයතනය,නයිටා ආයතනය, වෘත්තීය පුහුණු අධිකාරිය වැනි උසස් අධ්‍යාපන ආයතන වල පාඨමාලා හා ඒ සඳහා පවතින සම්පත් පිළිබඳ විමසා බැලේ.

පුහුණු ශ්‍රමිකයන් අතර ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීම, වෘත්තීය අධ්‍යාපනයෙන් පිටවන ශ්‍රමිකයන් කර්මාන්ත ගත කිරීම, ව්‍යවසායකත්ව උපදේශනය, බැංකු සබඳතා ප්‍රවර්ධනය වැනි අංශ කෙරෙහි ව්‍යවසායකත්ව සංවර්ධන අනුකමිටුව ඔස්සේ කරුණු සැලසුම් කෙරේ.

ශ්‍රම වෙළදපොල හා රැකියා අනුකමිටුව මගින් දත්ත පද්ධතියක් ඔස්සේ ශ්‍රමිකයන් හා රැකියා සම්බන්ධ තොරතුරු යාවත්කාලීන කිරීමට සැලසුම් කෙරෙන අතර දේශීය මෙන්ම විදේශීය රැකියා සඳහා ශ්‍රමිකයන් පුහුණු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම යනාදී අංශ කෙරෙහි අවධානය ලබා දීමට නියමිතය.

වෘත්තීය මාර්ගෝපදේශ හා උපදේශන කමිටුව ඔස්සේ මූලිකවම වෘත්තිය මාර්ගෝපදේශනය සඳහා යොමු කළ යුතු පාසල් සිසුන් හඳුනා ගැනීම, දෙමාපියන් මෙන්ම වසම් මට්ටමින් සේවය කරන නිලධාරීන් සඳහා ද වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳ දැනුවත් කිරීම හා සම්බන්ධීකරණය කිරීම යනාදී කාරණා කෙරෙහි සැලසුම් සකස් කරනු ලැබේ.

ඒ අනුව දිස්ත්‍රික්කයේ පවතින ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය, කාර්මික විද්‍යාලය , උසස් තාක්ෂණ ආයතනය, තරුණ සේවා සභාව , යොවුන් සේනාංකය , යුනිවසිටි කොලේජ්ය ඇතුළු වෘත්තීය පුහුණු ආයතනයන්ගේ ඍජු දායකත්වයෙන් තරුණ ශ්‍රම බලකාය නිසි ලෙස ආර්ථික යාන්ත්‍රණයට දායක කර ගැනීමට මෙම වැඩසටහන හා එක්වේ.

එම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන) චරිතා ඉලංගකෝන් අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, දිස්ත්‍රික් සමුර්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පී කුසුම්සිරි ,බටංගල විශ්ව විද්‍යාල විද්‍යායතනය අධ්‍යක්ෂ එම්.ජී ටී.එස් අමරසේකර , වෘත්තීය පුහුණු අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ.ඒ.ඩබ්ලිව් .ජී.ආර්.ආර් බංඩාර යන මහත්ම මහත්මීන් , සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් උසස් අධ්‍යාපන හා වෘත්තිය පුහුණු ආයතනවල නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.