ඉදිරියේ දි ඇති විය හැකි ආහාර අර්බුදයට දිස්ත්‍රික්කයක් ලෙස ගනු ලබන පියවරයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් මෙවර රැස් වු දිස්ත්‍රික් කෘෂි කමිටුව අද (01) දින දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.


ඒ අනුව ආහාර සුරක්ෂිතතාවය ඇති කිරිම සඳහා ගෙවතු වගා සහ හරිත ගෙවතු වැඩසටහන් මේ වන විට ආරම්භ කර ඇති අතර එහි වත්මන් තත්වය විමසා බැලිණි.රාජ්‍ය ආයතනවල පවතින සෑම ඉඩකඩකම වගාවන් ආරම්භ කිරිම, වගා නොකළ ඉඩම් හඳුනා ගැනිම, කෙටි කාලින හා දිගු කාලීන බෝග වගා වැඩසටහන් බිම් මට්ටමේ සිට ඇති කිරිම, සමෘද්ධිලාභීන් සඳහා අනිවාර්ය ගෙවතු වගා ඇති කිරිම කෙරෙහි ද අවධානය යොමු විය.


තව ද මෙහි දී ඒ ඒ ප්‍රදේශවලට අවේණික වගාවන් ප්‍රවර්ධනය කරමින් හුවමාරු වැඩසටහනක් ඇති කිරිම, අතිරික්ත ආහාර විජලනය කිරීමේ වැඩසටහන්, ආහාර ගබඩා කිරිම් සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම විදාතා මධ්‍යස්ථාන හරහා ප්‍රාදේශීය මට්ටමින් ලබා දිම සඳහා උපදෙස් ලබා දුණි. වී වගාව සඳහා අවශ්‍ය පොහොර ලබා දීමේ ප්‍රමාදය හැකි සෑම අයුරින්ම මග හරවා ගොවීන්ට පොහොර ලබා දීමට වහා පියවර ගැනීමේ අවශ්‍යතාවය ද සාකච්ඡා කෙරිණි.


මෙහි දි අදහස් දැක්වු දිසාපතිතුමන් ප්‍රකාශ කළේ එළඹෙන මාස 06 සඳහා ආහාර නිෂ්පාදනය ඇති කිරිම හා ඉදිරි කන්නයන්හි වගා කටයුතු සඳහා සැලසුම් ඇති කිරීමේ අවශ්‍යතාවය හැකි විගසින් සකසා ගත යුතු බව ය.ඉදිරි සතිය තුල දි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මටිටමින් ආහාර අර්බුදය සඳහා ගනු ලබන සැලසුම් තමන්ට ඉදිරිපත් කරන ලෙසද ඒ මහතා ප්‍රාදේශීය ලේකම්වරුන්ට මෙහි දී උපදෙස් ලබා දුන්නේ ය.


මෙම හමුවේ දී ක්‍රිඩා සමාජ, යෞවන සමාජ, දහම් පාසල්, රාජ්‍ය නොවන සංවිධාන(වගා නො කළ ඉඩම්) පාසල්, විහාරස්ථාන වැනි යන අංශයන් ද දායක කර ගනිමින් වගාවන් ආරම්භ කිරීම හා විදේශ විනිමය උපයා ගත හැකි බෝග වගාවන් පිළිබඳ ද දැඩි අවධානය යොමු කළ බව ද ප්‍රකාශ විය.


මෙම කමිටුව මෙන්ම මීට සමඟාමිව දිස්ත්‍රික් ඉඩම් හා පරිසර කමිටුව, දිස්ත්‍රික් ආපදා කමිටුව ද රැස් විය. රාජ්‍ය ආයතවල බල ශක්ති කලමණාකරණ හා පුනර්ජනනීය බල ශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරිම කෙරෙහිද නිලධාරීන් දැනුවත් කෙරිණි.


මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලෙකම් ( ඉඩම හා සංවර්ධන) දිනිෂා එස් රත්නායක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද යන මහත්ම මහත්මීන් ඇතුලු මාණ්ඩලික නිලධාරින්, ප්‍රාදේශීය ලේකම්වරුන්, කෘෂිකර්ම,ගොවිජන, පොහොර ලේකම් කාර්යාල, පරිසර අධිකාරිය, ඉඩම් ප්‍රතිසංස්කරණ , භූ විද්‍ය හා පතල් ඇතුලු ඒ ඒ කේෂත්‍රයන්ට අදාල නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.