රාජ්‍ය නිලධාරීන් ඩිජිටල් තාක්ෂණයෙන් සවි බල ගැන්වීම (NextGenGov) පිළිබඳ හඳුන්වා දීමේ වැඩමුළුමේ දිවයිනේ පළමු වැඩසටහන අද (02) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, ස්වදේශ කටයුතු අමාත්‍යංශය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව සිදු කරන මෙම වැඩසටහන මඟින් රාජ්‍ය සේවය කාර්යක්ෂම හා ඵලදායි සේවයක් බවට පත් කිරිමට අපේක්ෂා කෙරේ.


මෙහි දී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා කියා සිටියේ ඩිජිටල් ආර්ථිකයක් කරා රට ගෙන යාමේ දී රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාවය දැඩිව පවතින මෙවන් කාලයක එහි පලමු වැඩමුළුව තම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරිමට ලැබීම සතුටක් වන බවයි. තවදුරටත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දිස්ත්‍රික්කයේ පවතින රාජ්‍ය ආයතනවල තෝරා ගත් නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීමට මෙන්ම උසස් අධ්‍යාපනය ලබන හා කලා විෂය ධාරාවන් හදාරන සිසුන්, සාමාන්‍ය පෙළ අසමත් වන සිසුන් මෙන්ම වෘත්තීය පුහුණුව ලබන සිසුන් සඳහා වන විෂය මාලාවන්ට තොරතුරු තාක්ෂණය එකතු කිරිමට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.


කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේ රාජ්‍ය ආයතනවල කාර්යන් සඳහා තාක්ෂණය භාවිතා කිරීම ඔස්සේ රටේ ආර්ථික සංවර්ධනයට මනා පිටිවහලක් වන බවයි.රාජ්‍ය ආයතනවල ඇතිවන ප්‍රමාදයන් හා අපහසුතාවයන් අවම කර ගැනිමට මෙන්ම විශාල ආර්ථිකමය ඉතිරියක් සිදු කර ගැනිමටද ඩිජිටල්කරණය වැදගත් වන බවයි.


මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ජේ්‍යෂ්ඨ කලමණාකරු චමේන්ද්‍ර පෙරේරා සහ භාග්‍යා කුමාරසිංහ යන මහත්ම මහත්මීන්, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් විසිනි.


එම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු මාණ්ඩලික නිලධාරීන්, වෙනත් රාජ්‍ය ආයතවල ප්‍රධානින්, තොරතුරු තාක්ෂණ නිලධාරින් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.