වත්මන් ආර්ථික අර්බුදය හමුවේ සෑම මට්ටමකම ප්‍රජාව දැඩි පසුබෑමකට පත්ව තිබීම හේතුවෙන් සමස්ත පුරවැසියන්ටම ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම වස් ආර්ථික හා සාමාජීය වශයෙන් ඔවුන් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් "අලුත් ගමක් -අලුත් රටක් " 2023- 2025 ජාතික සංවර්ධන වැඩසටහන දිවයිනේ සියලුම දිස්ත්‍රික්කයන්හි දී අදින් ආරම්භ විය.
තුන් අවුරුදු සැලැස්මක් ලෙස ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියෙහි කෑගල්ල දිස්ත්‍රික් සමාරම්භය හා එහි උපාය මාර්ගික සැලැස්ම සකස් කිරීම පිළිබඳ සාකච්ඡාව අද (08) දින දිසාපති / දිස්ත්‍රික් ලේකම් රංජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඒ අනුව කෘෂිකාර්මික, කර්මාන්ත, අපනයන නිෂ්පාදන, සත්ව නිෂ්පාදන, ධීවර හා සේවා යන අංශ ආවරණය වන පරිදි ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා සමස්ත දිවයිනම මෙම ව්‍යාපෘතිය ඔස්සේ ආවරණය කිරීමට අපේක්ෂිතයි.
එසේම පුද්ගලානුබද්ධ හා සමාජ සංවර්ධනය ආශ්‍රිත උපාය මාර්ග හඳුනා ගනිමින් ආකල්පමය, සාමාජීමය හා ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කිරීමට ද අපේක්ෂිත මෙම වැඩසටහන අවම ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
දිස්ත්‍රික් සැලසුම් අංශය සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ. ඒ වීරකෝන් මහතා ඇතුළු සැලසුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සැලසුම් අධ්‍යක්ෂවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.





















