ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා කාලගුණික, ගංවතුර හා නායයෑම් පිළිබඳ පුරෝකථන හා අනතුරු ඇගවීම හා එවැනි තත්ත්වයන් වැළැක්වීමේ දීර්ඝකාලීන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක ව්‍යාපෘතීන් දෙකකට අදාළ කෑගල්ල දිස්ත්‍රික් වාරි සැලසුම් සමාලෝචනය කිරීමේ විශේෂ හමුවක් ඊයේ (15) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඒ අනුව ඒකාබද්ධ ජල ධාරා හා ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය හා දේශගුණික අවබලපෑම අවම කිරීමේ බහු අදියර වැඩසටහනෙහි පළමු අදියර යන ව්‍යාපෘතීන් සඳහා ශ්‍රී ලංකාවට ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 25ක ණය ආධාර මේ යටතේ ලබා දී තිබේ .මාස 18 ක කාලයක් තුළ අවසන් කිරීමට අපේක්ෂිත මෙම ව්‍යාපෘතීන්හි කෑගල්ල දිස්ත්‍රික්කයට අදාළ යෝජනා හා අදහස් ලබා ගැනීමට කටයුතු කරන අතර ඒ ඔස්සේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කෙරේ.
දිස්ත්‍රික්කය සතුව පවතින බණ්ඩාර අමුණ හා කෙහෙල්පත් අමුණ වාරි ඇළ ප්‍රතිසංස්කරණය කිරීම මෙම ව්‍යාපෘතියට අදාලව දැනට යෝජනා වී පවතින අතර දිස්ත්‍රික් මට්ටමේ සිට ග්‍රාමීය ගොවි සංගම් දක්වාම අදහස් ලබා ගනිමින් ප්රමුඛතාවයන් හඳුනා ගැනීමට කටයුතු කෙරේ .
සති දෙකක කාලයක් තුළ අදාල යෝජනා වාරිමාර්ග අමාත්‍යාංශයට ලබාදීමට කටයුතු කළ යුතු අතර පූර්ණ අධීක්ෂණය එම අමාත්‍යාංශය යටතේ සිදු කෙරේ.වාරිමාර්ග ගොවිජන, කෘෂිකර්ම, පළාත් වාරිමාර්ග ඇතුළු මීට අදාළ ආයතන සියල්ල ඒකාබද්ධ කරගනිමින් මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට සැලසුම් කර ඇත.
මෙහිදී මෙම ව්‍යාපෘතිය තවදුරටත් සාර්ථක කර ගැනීම සඳහා පවතින තාක්ෂණික, පුහුණු නිලධාරි හා සැලසුම් ශිල්පීන්ගේ හිගතාවය, ඉන්ධන ගැටලු, ජල උල්පත් ආරක්ෂා කිරීම ඇතුළු දැනට පවතින ගැටලු රැසකට ද කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කෙරිණි.
මෙම අවස්ථාවට වාරිමාර්ග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ, ග්‍රාමීය ,කුඹුරු ආශ්‍රිතව ජලාශ සහ වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, කෑගලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්රීනී රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් දේශපාලන නියෝජිතයින් , වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සි ජයලාල් ,කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ ,වාරිමාර්ග අමාත්‍යාංශයේ අධ්යක්ෂ (සැලසුම්) එම්.එම් ආනන්ද මාපා , අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස් රත්නායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිලීප් නිශාන්ත යන මහත්ම මහත්මීන්, මාණ්ඩලික නිලධාරීන් ,ප්‍රාදේශීය ලේකම්වරුන්, වාරිමාර්ග ඉංජිනේරු, දිස්ත්‍රික් ඉංජිනේරු, ගොවිඡන සේවා, අපනයන කෘෂිකර්ම, ජලජීවි ඇතුළු ආයතන රැසක නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.























