මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ලබා ගැනීමට අපේක්ෂිත සහයෝගීතාවය, එහි ප්‍රගතිය සහ එහි ධනාත්මක පැතිකඩ සම්බන්ධව පළාත් මට්ටමින් විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ පළමු වැඩසටහන අද (31)සබරගමු පළාත ආවරණය වන පරිදි කෑගල්ල තැපැල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

වසර ගණනාවක් තිස්සේ රට තුළ නිර්මාණය වූ අයවැය හිඟය හේතුවෙන් විනිමය උත්පාදනය දුර්වල මට්ටමකට පත් වීම මත රට තුළ ආර්ථික අර්බුදය ක්‍රමිකව වර්ධනය වූ අතර කඩා වැටුණු ආර්ථිකය යලි නගා සිටුවීම වෙනුවෙන් යම් අසීරු නමුත් ඵලදායී තීන්දු තීරණ ගැනීමට සිදුවන බව මෙහිදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේය.

කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ දැඩි අභියෝගයකට ලක්ව තිබෙන කෘෂිකාර්මික ,කර්මාන්ත හා සේවා අංශවල සිදුව පවතින ආර්ථික සංකෝචනය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම් තුළින් රට නැවත ස්ථාවර භාවයකට ක්‍රමිකව ගැනීමට හැකිව පවතින බව මෙහිදී අදහස් දක්වමින් සබරගමු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් මහින්ද වීරසූරිය මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීරණ අරමුදල් පහසුකම් යටතේ රාජ්‍ය ආදායම් හා වියදම් පරතරය හා ඒවා අවම කිරීම, මූල්‍ය ප්‍රාග්ධන කළමනාකරණය, රජය සතු ප්‍රධාන ව්‍යවසායන්හි ලාභ අලාභ ,උද්ධමනය, විදේශ ප්‍රේෂණ, සංචාරක ඉපැයීම් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජිත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන්හි සංරචක, ඉදිරි යෝජිත වැඩසටහන් සහ ශ්‍රී ලංකා රජය විසින් දැනටමත් සපුරා ඇති පූර්ව ක්‍රියාමාර්ග ,ක්‍රියාත්මක කිරීමට නියමිත බදු ප්‍රතිසංස්කරණ ඇතුළු කාරණා රැසක් පිළිබඳව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක මහතා විසින් නිලධාරීන් දැනුවත් කිරීම සිදු කරන ලදී.

තවද පුද්ගල ආදායම් මත පනවන බදු පිළිබඳ දැනුවත් කිරීම බදු උපදේශක තනුජා අයන්ති මහත්මිය විසින් සිදු කරන ලදී.

රාජ්‍ය ව්‍යවසායන් ආශ්‍රිත ප්‍රතිසංස්කරණ, සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම, ආර්ථික වර්ධන ප්‍රතිසංස්කරණ, අපනයන වෙළඳපල හා විදේශ වෙළෙඳ ගිවිසුම් දිරිගැන්වීම් ඇතුළු මූල්‍ය පාලන ක්‍රියාදාමයෙහි වැදගත්කම මෙහිදී පැහැදිලි කල අතර පැමිණ සිටින නිලධාරින්ට තම ගැටලු හා යෝජනා ඉදිරිපත් කිරීමට ද අවස්ථාව සලසා තිබුණි.

මෙම අවස්ථාවට මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.ජී සුමනසිංහ මහතා, කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික් දිසාපතිවරුන් හා එම දිස්ත්‍රික්කවල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් හා මාණ්ඩලික නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් ,සබරගමු පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් හා ආයතන ප්‍රධානීන් සහ මාණ්ඩලික නිලධාරින් , සබරගමු පළාතේ රාජ්‍ය ආයතනවල විධායක නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.