බෞද්ධ ශාසනයේ උන්නතිය පිණිස ගෙන ඇති හා ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධ විමසා බැලෙන කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය ඊයේ (04) අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේ දී රැස්විය.

එහිදී ප්‍රථමව පසුගිය සභාවේ වාර්තාව කියවා සම්මත කරගැනීමෙන් අනතුරුව ,පැවැත්වූ දහම් පාසල් ශ්‍රේණි විභාගයන්හි අඩුපාඩු හා පිළිතුරු පත්‍ර ඇගයීමේ ප්‍රගතිය විමසා බැලිණි .එසේම ඉදිරියේදී දහම් පාසල් අවසන් විභාගය හා ධර්මාචාර විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂකයින් සඳහා සහතික පත්‍ර නිකුත් කිරීමේ අවශ්‍යතාවයද සාකච්ඡාවට ලක් විය.

මීට අමතරව දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිත දිස්ත්‍රික්කයකින් එක බැගින් දහම් පාසලක් තෝරා සිදු කරන "නියමු දහම් පාසල් ව්‍යාපෘතිය" යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කිරීමට නියමිත දහම් පාසල තෝරාගැනීමට පවතින නිර්ණායකයන් හා එය තෝරා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කෙරුණු අතර එම ව්‍යාපෘතිය හරහා ඉදිරි වසරේදී තවත් දහම් පාසල් දහය බැගින් සෑම දිස්ත්‍රික්කයකින්ම තෝරා එම දහම් පාසල්ද ගුණාත්මක හා ප්‍රමාණාත්මක වශයෙන් දියුණු කිරීමට නියමිතව ඇත.

මෙම රැස්වීමේදී එළඹෙන වෙසක් උත්සවය ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්වලට මුල් තැන දෙමින් සැමරීමේ ඇති වැදගත්කම මෙන්ම ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩල වෙන් කිරීම, දහම් පාසල් සඳහා දරුවන් තවදුරටත් යොමු කිරීම, ඉරිදා දින පවත්වන අමතර පන්ති දහම් පාසල් කාලය තුළ නොපැවැත්වීමට ඇති හැකියාව ,දහම් පාසල් ගුරුවරුන් සඳහා ගුරු පුහුණු වැඩසටහන් පැවැත්වීමේ වැදගත්කම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව අදහස් හා යෝජනා සාකච්ඡා කෙරිණි.

මේ අවස්ථාව සඳහා පහත බුලත්ගම කෝරළ තුන ඇතුළු සතර කෝරළ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක, විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති, වෑවලදෙණිය සිරි මහින්දෝදය පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය හෙම්මාතගම සිද්ධාර්ථ නා හිමිපාණන් වහන්සේ, සතර කෝරළ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක, විශ්‍රාමලත් විදුහල්පති, දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී, පින්නවල ශ්‍රී සුදර්ශනාරාම අධිපති පූජ්‍ය දුනුකේවල සීලවිමල නාහිමිපාණන් වහන්සේ ඇතුළු ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලවල ගරු සභාපති ස්වාමීන්වහන්සේලා සහ ලේඛකාධිවරු ස්වාමීන් වහන්සේලා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත මහතා,ප්‍රාදේශීය ලේකම්වරුන් හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් , දිස්ත්‍රික්කයේ බෞද්ධ කටයුතු සමායෝක නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.