ඊයේ සවස් බාගය කච්චේරියේ නිලධාරීන්ට සුන්දර සන්ධ්‍යාවකි. දිස්න දුන් තාරකා රැසක් සේ වේදිකාවට බට ද කාර්යාල නිලධාරීන් මනෝහර නර්තනයෙන් ද, මිහිරිතම ගීයෙන් ද, ඇස් අලවා ගත් රැගුමෙන් ද ප්‍රේක්ෂක දන මන පුරවා ලුහ.

 

කාර්යාල නිලධාරීන්ගේ රසඥතාව ඉහළ නැංවීම , රාජකාරී පීඩනය අවම කොට වඩාත් මහජන හිතෛෂී රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීමේ අරමුණ ඇතිව ‘සඳ දිය මංකඩ‘ නිලධාරී කලා උළෙල කෑගල්ල දිසාපති රංජන් ජයසිංහ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ දිස්ත්‍රික් සංස්කෘතික අංශයේ සංවිධාන්වයෙන් ඊයේ සවස් වරුවේ ආරම්භ වූයේ කෑගලු විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දීය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියළුම අංශ වල දායකත්වයෙන් සිදු කළ වර්ණවත් පිළිගැනීමේ නර්තනයෙන් ආරම්භ කෙරුණ සඳ දිය මංකඩ කලා උළෙල විවිධ විචිත්‍රවත් කලාංග රාශියකින් සුසැදි විය. මධුර හඩින් සවන් පත් පිනවූ ගීත ගායනා රැසකි. රසික හදවත් අමන්දානන්දයට පත් කළ විචිත්‍ර නර්තනයන් සහ කෙටි නාට්‍ය සුවිශේෂි විය. ඒ අනුව කලාවට සමත්කම් දැක්වූ කාර්යාල නිලධාරීන්ගේ ඒකළ ගායනා, යුග ගායනා, සමූහ ගායනා, ගැමි නර්තන, හින්දි නර්තන, වේදිකා නාට්‍ය ගී නර්තන, බටහිර නර්තනන් ඇතුළු 'අනේ මන්දා' සහ 'ඕනෑ නැති කතාවක්' යන කෙටි නාට්‍ය දවිත්වය ඊයේ සවස් බාගයේ දී කෑගලු විද්‍යාල වේදිකා ප්‍රාප්ත විය.

රාජකාරි කටයුතු නොපිරිහෙළා ඉටු කරමින් ලද විරාමයක දී සිය දස්කම් මෙලෙස වේදිකාවට රුගෙන විත් විචිත්‍ර සන්ධ්‍යාවක් තිලිණ කළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහෘද හිතවතුන්ට සුබ පතමු !