දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාවයට මුල්තැන දෙමින් දිස්ත්‍රික් කෘෂි කමිටුව හා පරිසර කමිටුව අද (09) දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
එම හමුවේදි වගා රක්ෂණ, ගොවි විශ්‍රාම වැටුප් සඳහා ගොවීන් ලියාපදිංචි කිරීමේ වත්මන් තත්වය, උඩමාකඩවර වැව ඉදි කිරීමට සම්බන්ධ අනුමැති ලබා ගැනීම, මෙම වසර සඳහා යල කන්නයේ වී වගාව සදහා පොහොර ලබාදීම, Food Gate වැඩසටහන සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සහයෝග ලබා ගැනීම ආශ්රිත ගැටලු, ආහාර සුරක්ෂිත ජාතික වැඩසටහන ඇතුළු විෂයන් රැසක් පිළිබඳ සාකච්ඡා කෙරිණි.
මෙම වසරේ දී එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින් 02 බැගින් ආදර්ශ යාය 25 ක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පස් සංරක්ෂණ වැඩසටහන පිළිබඳව ද තොරතුරු ඉදිරිපත් කෙරුණු අතර මෙවර කෑගල්ල දිස්ත්‍රික්කය තුළම දිස්ත්‍රික් බීජ වී අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකි වූ බව හෙළිවිය .එමෙන්ම ප්‍රථම වතාවට එළවළු බීජ නිෂ්පාදනයට යොමු වූ අතර මෑ හා බණ්ඩක්කා බීජ මේ වන විට නිෂ්පාදනය කෙරේ.
මෙම වසරේ වී වගා ඉලක්කය හෙක්ටයාර 7141.53 වෙන අතර කන්න තුනකට පසු මෙවර මඩ පොහොර වගාවට කලින්ම ගොවීන්ට ලබා දීමට හැකි වූ බව ප්‍රකාශ විය.එමෙන්ම පොහොර මිලදී ගැනීම් සදහා ගොවීන්ට ලබා දෙන මූල්‍ය ආධාර යටතේ මේ වන විට හෙක්ටයාර 6103 වෙනුවෙන් ගොවීන් 22940 කට අදාල මුදල් ඔවුනගේ ගිණුම් සඳහා බැර කර ඇති බව කියැවිණි. තවද සියලුම කුඹුරු ඉඩම් සිතියම් ගත කිරීම මේ වන විට සිදු වන අතර ඊට අදාළව ගොවීන් 32065 කගේ කුඹුරු ඉඩම් පිළිබඳ තොරතුරු ලබාගෙන ඇත.
මීට අමතරව මෙම හමුවේ දි අපනයන කෘෂි කලාප වැඩසටහන, පොල් පැළ නොමිලේ බෙදාදීමේ වැඩසටහනෙහි ප්‍රගතිය මෙන්ම තේ වගාකරුවන් සඳහා 9.75% ක බැංකු පොලිය යටතේ ලක්ෂ 10 මුදලක් ලබාදීමට අදාළව ද කරුණු සාකච්ඡා කෙරිණි.
මෙම කමිටුවට සමගාමීව දිස්ත්‍රික් පරිසර කමිටුව ද රැස් විය. එහිදී කැලණි ගඟ ආශ්‍රිතව හෝටල් ඉදිකිරීමෙහි එහි වර්තමාන තත්ත්වය, පින්නවල අලි අනාථාගාරයේ තෘණ වගා ව්‍යාපෘතිය සඳහා අත්පත් කර ගෙන ඇති ඉඩමේ පොල් ගස් ඉවත් කිරීම, බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතියේ කටයුතු හේතුවෙන් හානි සිදුවූ නිවාස සම්බන්ධව පවතින වර්තමාන තත්ත්වය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ පිළිබඳව සාකච්ඡා කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසාපති /දිස්ත්‍රික් ලේකම් රංජන් ජයසිංහ මහතා කියා සිටියේ මේ දිනවල ඩෙංගු අවධානමක් පවතින හෙයින් තම ආයතන හා ඒ අවට පවිත්‍රව තබා ගැනීමට කටයුතු කරන ලෙසයි.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රක් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ගමලත්ගේ දිලිප් නිශාන්ත ,දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ. වීරකෝන් යන මහත්ම මහත්මින්, ප්‍රාදේශීය ලේකම්වරුන්,මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂතුමන් ඇතුළු ඒ ඒ ක්ෂේත්රයන්ට අදාළ ආයතනවල ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


















