අධිකරණ , බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලැබූ සංස්කෘතික සංහිදියාව ජනගත කිරීමේ විශ්ව සම්භාව්‍ය සිනමා දැක්ම හා කතිකාවට සමගාමීව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කළ වැඩසටහනක් අද (15) පෙරවරුවේ දී පැවැත්විණි.

ඒ අනුව සංස්කෘතික සංහිඳියාව ජනගත කිරීමේ අරමුණින් සියළුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි සිනමා පටයක් විකාශය කිරීම මෙහි දී සිදු කෙරිණි. විශ්ව රසික ප්‍රසාදය දිනාගත් Clint Eastwood අධ්‍යක්ෂණය කළ Invictus සිනමා පටය මෙහිදී ප්‍රදර්ශණය කළ අතර චිර ප්‍රසිද්ධ ලෝක නායකයෙකු සහ දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයෙක් වූ නෙල්සන් මැන්ඩෙලා රග්බි ක්‍රීඩාව මගින් ජාතික සංහිඳියාවට පදනම සකස් කළ ආකාරය පිළිබඳව එහි අන්තර්ගතය විය.

මෙම අවස්ථාව සඳහා අධිකරණ , බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ද මාර්ගගත (0nline) ක්‍රමය ඔස්සේ සම්බන්ධ වූ අතර කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙම වැඩසටහන විකාශය කිරීම අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මේ අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක ගයානි හේමමාලී, ජාතික සමගිය හා ප්‍රතිසංවිධාන කාර්යාලයේ සංවර්ධන නිලධාරී දීප්ති ඒකනායක යන මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් ජාතික ඒකාබද්ධතා සංවර්ධන නිලධාරීන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.