දිස්ත්‍රික් කෘෂි කමිටුව හා පොහොර සම්බන්ධීකරණ කමිටුව දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී රැස් විය.

රජයේ පොහොර ලබාදීම සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා වූ අතර 2023 යල කන්නයට අදාළව මෙන්ම ඉදිරියේදී 2023/ 24 මහකන්නයට අදාල කරුණු ඊට ඇතුළත් විය.එළඹෙන මහ කන්නෙයේ මෙවර වී වගා ඉලක්කය හෙක්ටයාර 7575 .7ක් වන අතර වෙනත් බෝග වගාව හෙක්ටයාර 85.5ක් වේ.වගා නොකරන පුරන් කුඹුරු නැවත වගා කිරීමට මෙන්ම තේ, කුරුඳු මෙන්ම විශේෂයෙන් විසිතුරු මසුන් වගාවට ද වැඩි අවධානයක් යොමු කිරීමට මෙහිදී අදහස් පළ විය.

එමෙන්ම මෙම හමුවේ දී යටියන්තොටට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ට අදාළව කුළු හරකුන් නිර්වින්දනය කර ඉවත් කිරීම සම්බන්ධව ද කරුණු විමසා බැලිණි.

කුඩා තේ වතු සම්බන්ධව වාර්ෂික ඉලක්කය මෙවර හෙක්ටයාර 25 සිට හෙක්ටයාර 80 දක්වා වැඩි කර ඇති බවත් මේ වන විට හෙක්ටයාර 43 කට වඩා වැඩි ප්‍රමාණයක තේ වගා කිරීම ආරම්භ කර ඇති බවත් හෙළි විය.තවද පරගම්මන ගොවිජන සේවා මධ්‍යස්ථානය සඳහා පොහොර ගබඩාවක් ලබා දීම සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු විමසා බැලීය.

වාගොල්ල agri fresh කෘෂි අලෙවි සැල සඳහා භාණ්ඩ ලබා දීමට පසුගියදා පැවති ව්‍යවසායක හමුවේදි ව්‍යවසායයන් හතළිහකට ආසන්න පිරිසක් එක්ව ඇති බව ද මෙහිදී ප්‍රකාශ වූ අතර පශු සංරක්ෂණ වැඩසටහන්, දූරියන්, ජම්බු ,කොස්, එළවළු, බිම්මල් ඇතුළු පැළ බෙදා දීම, මී මැසි පාලනයේ දී ඇතිවී ඇති පළිබෝධ හානි, ආදර්ශ කෘෂි තාක්ෂණ විද්‍යාල පාසල් මට්ටමින් ඇති කිරීම, model village ව්‍යාපෘතිය, තිරසාර ගෙවතු කළමනාකරණය ඇතුළු කෘෂි කරුණු රැසක් පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡාවට ලක් කෙරිණි.

කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන වාරිමාර්ග ව්‍යාපෘතින්, අපනයන කෘෂිකර්ම, පොල්, පශු සම්පත්, ජලජීවී, හදබිම අධිකාරිය ඇතුළු කෘෂි ක්ෂේත්‍රය ට අදාළ අංශ රැසක ප්‍රගතිය ද මෙහිදී විමසා බැලිණි.

මෙම හමුවට එක්වූ ගොවි සංගම් නියෝජිතයන් විසින් වන සත්ව හානි අවම කර ගැනීම සඳහා කටයුතු කිරීම,වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික්කය තුළම රජයේ මැදිහත්වීම්,තැඹිලි වගාව සඳහා බලපා ඇති සුදු මැස්සාගේ පළිබෝධ හානි ඇතුළු කරුණු සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලදී.

එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීශා එස් රත්නායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද , දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකෝන්, ගොවිජන සහකාර කොමසාරිස් කලන ජයනන්දන යන මහත්ම මහත්මීන්,ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු කෘෂි කේෂ්ත්‍රයට අදාළ රජයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.