ළමා ආරක්ෂාව හා ළමා සංවර්ධන විෂයට අදාලව දිස්ත්‍රික්කයේ ප්‍රගතියේ විමසා බැලෙන දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුව අද (26) පෙරවරුවේ දී දිසාපති/දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ මහතාගේ ප්‍රධාත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි රැස් විය.

ඒ අනුව ළමා සෞඛ්‍ය , මත්ද්‍රව්‍ය , ළමා අපයෝජනය හා ළමා අපචාර, අධ්‍යාපනය, භාරය, ආරක්ෂාව හා ආයතනගත කිරිම , විදී දරුවන්, ළමා ශ්‍රමය තුරන් කිරිම මෙන්ම කොට්ඨාස මට්ටමින් ප්‍රාදේශීය ළමා කමිටුවලට අදාල ගැටලු කිහිපයක් කෙරෙහි මෙම කමිටුවේදී අවධානය යොමු කෙරිණි.

මෙවර උසස් පෙළ විභාග අතරින් දිස්ත්‍රික්කය තුල සාපේක්ෂව කලා හා වාණිජ විෂයන්වල ප්‍රතිපල අඩු වි ඇති බව පෙනී යන අතර ඒ සඳහා ගුරු හිඟය බලපාන අතර විශේෂයෙන් දමිළ මාධ්‍ය ගුරුවරුන්ගේ හිඟය දැඩිවි බල පා ඇති බවත් ඊට විසඳුමක් ලෙස සබරගමු පළාත තුල නව ගුරුවරු බඳවා ගැනීම් නුදුරේදීම සිදු කරන බවත් හෙළිවිය. තවද පාසල් දරුවන් අතරින් හතර සහ පහ ශ්‍රේණිවල දරුවන් අතර මානසික ආතතිය හා අවිවේකිකත්වය හේතුවෙන් ඔවුනගේ සෞඛ්‍ය තත්වය පිරිහි යාමේ අවධානමක් පවතින බව ද ප්‍රකාශ විය. එමෙන්ම ජාත්‍යන්තර පාසල්වල ගුණාත්මකභාවය නියාමනය කිරිමේ අවශ්‍යතාවය, පාසල් සිසුන් අතර අධික ජංගම දුරකථන භාවිතය, ලිංගික අධ්‍යාපනය දරුවන් අතර ප්‍රචලිත කිරිම ඇතුලු කරුණු රැසක් පිළිබඳ මෙහිදි අවධානය යොමු විය.

ආබාධිත දරුවන් ලිංගික අපචාරවලට ලක් විමේ වැඩි අවධාමක් පවතින බවත් ප්‍රජා මූලික පුනරුත්තාපන වැඩසටහන් යටතේ සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් ඊට වැඩි අවධානයක් ඉදිරියේ දි යොමු කරන බවත් මෙහිදි කියවිණ. එමෙන්ම පරිවාස ක්‍රියාවලියට අදාලව මිනුවන්ගමුව ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ඉදි කිරිම් මේ වන විට සිදු වන බවද ප්‍රකාශ විය.

ළමා ශ්‍රමය සම්බන්ධව මෙහි දි අවධානය යොමු වු අතර වයස අවුරුදු 16ට අඩු දරුවන් ඒ සඳහා යොමු වන බවට නිල තොරතුරු කිසිවක් වාර්තා නොවන මුත් වතු ආශ්‍රිත ප්‍රජාව දැනුවත් කිරිමේ ඕනෑකම පෙන්වා දුණි. 2025 වසර වන විට ළමා ශ්‍රමයෙන් තොර රටක් වෙනුවෙන් සියලු නිලධාරින්ගේ සහයෝගය ලබා දියයුතු බව ද මෙහි දි ප්‍රකාශ කෙරිණි.

තව ද දරුවන්ගේ උපත් බර, මන්ද පෝෂණය, ළමා මව්වරුනගේ සංඛ්‍යාව ඉහළ යාම, අඩු වයස් දරුවන්ගේ මව්වරුන් රට යාම වැළැක්විම, කාන්තාවන්ට අදාලව පවතින ගැටලු ඇතුලු කරුණු රැසක් පිළිබඳවද මෙහි දි සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන) දිනිශා එස්. රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනි, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ.විරකෝන්, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පි. කුසුම්සිරි යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, සෞඛ්‍ය ,පොලිස්, අධ්‍යාපන, මුල් ලමාවිය, ලමා හිමිකම්, උපදේශන , පරිවාස ඇතුලු ලමා හා කාන්නා විෂයන්ට අදාල නිලධාරින් පිරිසක් එක්ව සිටිය හ.