අධ්‍යාපන අමාත්‍යංශයේ නිපුණතා සංවර්ධන අංශය යටතේ ඇති තෘතියීක අධ්‍යාපන කොමිෂන් සභාව මගින් රාජ්‍ය හා පෞද්ගලික වෘත්තිය පුහුණු ආයතන ලියාපදිංචි කිරීම හා පාඨමාලා ප්‍රමිතිකරණයට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (02) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ලියාපදිංචි නොවූ ආයතන ලියාපදිංචි කිරීම, පාඨමාලා යාවත්කාලීන කිරීමට අදාළ යෝජනා ලබාදීම, වෘත්තිය පුහුණු ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සහ අවස්ථා හඳුනා දීම කෙරෙහි මෙම වැඩසටහනේදී කරුණු අවධාරණය කෙරිණි.

බෙරෙන්ඩිනා සංවර්ධන සේවයේ මූල්‍ය අනුග්‍රහයෙන් පැවැති මෙම හමුවට කෑගල්ල දිස්ත්‍රික්කය පුරා විසිරී පවතින ආයතන තිහකට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටියහ. විශේෂයෙන් NVQ සහතික ලබා දීමට සූදානම් වන සියලුම රාජ්‍ය පෞද්ගලික අංශයේ ආයතනයනවලට මෙම හමුව මනා පිටිවහලක් විය.

එම අවස්ථාවට දිසාපති/දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත, තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජනක ජයලත්, එස්. සෙන්දුරන්, දිස්ත්‍රික් නිපුනතා සංවර්ධන නිලධාරි දිනේශ් නවරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.