ගොවිජන සේවා, සත්ව පාලන, ජල ජීවී වගා, කෘෂි රක්ෂණ මණ්ඩල, වැවිලි භාරය, කුඩා තේ වතු, රබර්,තේ සංවර්ධන, සමෘද්ධි දෙපාර්තමේන්තු ඇතුළු කෘෂි ක්ෂේත්රයට අදාල අංශ රැසකගේ ප්‍රගතිය විමසා බැලෙන දිස්ත්‍රික් කෘෂි කමිටුව අද (06) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී රැස්විය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළව පසුගිය වසරේ දිස්ත්‍රික්කය තුළ එළවළු හා පලතුරු වගාව ආශ්‍රිතව 60% ක පමණ ප්‍රගතියක් අත් කර ඇති බවත්, යම් පමණකට කීඩෑ හානියද සැලකිය යුතු මට්ටමින් රිලා සහ අනෙකුත් සත්ව හානිද හේතුවෙන් වාණිජ වගාව සිදු කරන ගොවීන් තම වගාවන් අත්හැරීමට යම් අවධානයක් යොමු කර ඇති බව මෙහිදී කියැවිණි. විශේෂයෙන්ම රිලා හානි සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර තෝරා ගත් ප්‍රදේශවලට ගිනි අවි නිකුත් කිරීමට ඇති බාධා ඉවත් කිරීම මෙන්ම මුරකාර බලපත්‍ර යටතේ ගිනිඅවි හුවමාරු කර ගැනීමට ඇති හැකියාව ඇතුළු කරුණු රැසක් පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණි.
CResMPA ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දහයක් ආවරණය වන පරිදි මිලියන 40ක මුදලක් වෙන් වී ඇති අතර ඉන් ව්‍යාපෘති හතක් මේ වන විට ආරම්භ කර ඇති බවත් බණ්ඩාර අමුණ හා කෙහෙල් පත්ත අමුණ ව්‍යාපෘතීන් දෙකෙහි වැඩ කටයුතු අවසන් වී ඇති බවත් ප්‍රකාශ විය.
මේ වන විට ක්‍රියාත්මක ගෙවතු වගා, බිම්මල්, මීමැසි පාලනය මෙන්ම ගෙවතු වගා ප්‍රවර්ධන වැඩසටහන, පසු අස්වනු තාක්ෂණ කෘෂිකර්ම ප්‍රදාන, අපනයන කෘෂි කලාප වැඩසටහන් මෙන්ම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන යටතේ කුරුදු, ගම්මිරිස්, කෝපි, කරාබු, කොකෝවා සහ සාදික්කා වගාවන් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කෙරේ.
2024 වසරේ පොල් වගාව ආශ්‍රිතව ඉලක්කය පොල් පැළ විසි දහසක් වන අතර මෙම කාර්තුවේදී පොල්පැළ හාරදහසක් සිටුවීමට අපේක්ෂිතයි. 2023 වසරේ රබර් වගාව ආශ්‍රිතව දේශීය නිෂ්පාදනයට 32% දායකත්වයක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ලබා දී ඇති බව මෙහිදී ප්‍රකාශ විය.
මෙහිදී ගොවි සංගම් නියෝජිතයන් විසින් දිස්ත්‍රික්කය තුළ කෙසෙල් වගාව තවදුරටත් ප්‍රචලිත කිරීමට මෙන්ම දෙමුහුන් පොල් පැළ බෙදාදීම මෙන්ම පැරණි ක්‍රමයට වගා කළ ආකාරයේ පොල් පැළ ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසටත් යෝජනා කෙරිණි.
මෙම අවස්ථාවට සමගාමීව දිස්ත්‍රික් පරිසර කමිටුවද රැස්විය.
දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස්. නිශාන්ත,අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ. වීරකෝන්, කෘෂිකර්ම අධ්යක්ෂ මංජුල පින්නලන්ද, ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් චමින්ද පද්ම කුමාර, මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ආර්.එම්.එස්.බී රත්නායක යන මහත්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් කෘෂි හා පරිසර ක්ෂේත්රයන්ට අදාළ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



























