දිස්ත්‍රික් ළමා හා කාන්තා සංවර්ධන කමිටුව ඊයේ ( 05) දින පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ මහත්මාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදීයි.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ පළමු කාර්තුවේදී ළමා අපචාර සම්බන්ධයෙන් විශාල වෙනසක් දක්නට නොමැති වුවත් දක්නට ඇති ළමා අපචාර සම්බන්ධයෙන් යටියන්තොට ප්‍රදේශවල මෙහි වැඩි ප්‍රවණතාවක් දක්නට ඇති බව මෙහිදී අනාවරණය විය.
ළමාරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල හඳුනාගත් දිළිඳු පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන් තෝරා අධ්‍යාපන, පෝෂණ, නිවුන් දරු ආධාර ලබාදීමට කටයුතු යොදා ඇත. මේ අනුව, රජයේ සේවයට සම්බන්ධ නොවූ අඩු ආදායම් පවුල්වල ඇති නිවුන් දරුවන් සඳහා පළාත් දෙපාර්තමේන්තුවෙන් ආධාර ලබා දෙන බවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඇති එවැනි පවුල් හඳුනාගෙන දැනුම් දෙන ලෙසත් මෙහිදී දැනුවත් කරන ලදී.
අඩු ආදායම් පවුල් සඳහා මාසයකට රුපියල් 750/= ක් දක්වා අවුරුදු තුනක් එම පවුල්වල සිටින දරුවන්ට අධ්‍යාපන ආධාර ලබා දීමටත් ඊට අමතරව රුපියල් 5000/= ක විශේෂ ආධාර දීමනාවක් ලබා දීමටත් මෙම ගෙවීම් පළාත් පරිවාස දෙපාර්තමේන්තුවෙන් ගෙවනු ලබන අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තෝරා ඊට අදාළ පෝරමය පුරවා ලබාදෙන ලෙසත් දැනුම්වත් කරන ලදී.
ළමා හිමිකම් ප්‍රවර්ධන අධිකාරියෙන් 2023 වසරේදී කරන ලද සමීක්ෂණයකට අනුව අධි අවධානම් තත්ත්වයේ සිටින ළමයින් 1114 දෙනකු සඳහා කෙටිකාලීන හා දිගු කාලීන සුරක්ෂිත සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත්, ප්‍රථමයෙන් කෙටි කාලීනව හෝ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් එවැනි දරුවන් හඳුනාගත යුතු බවත් මෙහිදී සාකච්ඡා විය.
දරුවන්ගේ ජංගම දුරකථන පාවිච්චිය වැඩිවීම පිළිබඳව දෙමව්පියන් හා පාසල් කමිටු රැස්වීම්වලදී දරුවන් හා දෙමව්පියන් දැනුවත් කළ යුතු බවත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් නඩු 78ක් මේ වන විට තිබෙන බවත්, මව විදේශගතවීම නිසා බොහෝ පවුල්වල දරුවන් සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න, ගැටලු හා දරුවන්ට අනාරක්ෂිත තත්ත්වයක් උද්ගත වී ඇති බවත්, අවදානම් සහිත දරුවන් 161දෙනකු පොලිසිය විසින් හඳුනාගෙන තිබෙන බවත් ඒ පිළිබඳව සමීක්ෂණයක් කළ යුතු බවත් මෙහිදී සාකච්ඡා කරන ලදී. ළමා නිවාසවල සංවේදීතාවන් හඳුනා ගැනීමද මෙහිදී සාකච්ඡා විය.
විවිධ ආයතන විසින් මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව පාසල් ළමුන් දැනුවත් කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් නිසි ලෙස දැනුවත් කළ යුතු අතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ නිර්දේශය මත කළ යුතු බවත් මෙහිදී අවධාරණය කරන ලදී.
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා කුසලතා සංවර්ධන මධ්‍යස්ථානය බැගින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ආරම්භ කිරීමටත් පාසලින් බැහැරවන විවිධ ක්‍රියාවලට ඇබ්බැහිවන ළමයින් පුනරුත්ථාපනය කළ යුතු බවත් මෙහිදී සාකච්ඡාවට බඳුන් කරන ලදී.
දෙමව්පියන් අහිමි සහ ආබාධිත දෙමව්පියන් ඇති පවුල්වල පාසල් දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමටත්, පාසල් දරුවන් සඳහා ආහාර වේලක් පිරිනැමීම පාසල් මට්ටමින් සිදු කිරීමටත් රාජ්‍ය නොවන සංවිධාන විසින් කටයුතු යොදා ඇති බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ දාහතක මුදලක් වැය කරනු ලබන බවත් සභාවට දැනුම් දෙන ලදී.
පාසල් අධ්‍යාපනය ලබන දරුවන් තිදෙනෙකු ඇති, පියා අහිමි හෝ පියා ආබාධිත තත්ත්වයේ ඇති, වෛද්‍ය විද්‍යාව හදාරන ළමුන් සහ ශිෂ්‍යත්වය සමත් දරුවන් ග්‍රාම නිලධාරීවරයා හරහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මගින් දැනුවත් කිරීමෙන් එම පවුල්වලට මෙම ආධාර ලබාගත හැකි බව "සාමය හා දයාව උදෙසා සංවිධානය" දන්වා සිටින ලදී.
දෙමාපියන් රැකියාවලට යාමේදී ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ඇති අතර පළාතේ ඇති සියලු දිවා සුරැකුම් සංවර්ධන මධ්‍යස්ථාන ලියාපදිංචි විය යුතු බවද මෙහිදී අවධාරණය කරන ලදී.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ. වීරකෝන් ,දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී ඒ. ටි කුසුම්සිරි යන මහත්ම මහත්මින් , ළමා අපයෝජනය, ළමා අපචාර පොලිසිය (කොට්ඨාස කාන්තා කාර්යාංශය, කෑගල්ල) ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ළමා අංශයේ නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.






















