මෙම වසරේ දෙවන දිස්ත්‍රික් විගණන කළමනාකරණ කමිටුව දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස්විය.

මෙහිදි දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කමිටු පැවැත්වීම් හා මානව සම්පත් සංවර්ධන සැලැස්මේ ක්‍රියාකාරිත්වයන්ට අදාල ප්‍රගතිය,විශ්‍රාම වැටුප් අධි ගෙවීම් , අනවසර ඉඩම් ලබාදීම සම්බන්ධව පවතින සංගණන අවශ්‍යතාව, වත්කම් ගිණුම් ගත කිරීමේ දී පවතින ගැටලු, ආරක්ෂක සේවා හා සනීපාරක්ෂක සේවාවල ගිවිසුම් ගත කොන්දේසීවල ඇති කල හැකි වෙනස්කම්,පළාත් සභාවට අදාලව උකස් බලපත්‍ර අයකර ගැනීම ආශ්‍රිතව පවතින ගැටලු පිළිබඳව අවධානය යොමු කෙරිණි. එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවලට හා ඒ ඒ විෂයන් සදහා විගණන විමසුම් ක්‍රියාවලියන් සිදු කිරීමේදී ඊට දෙනු ලබන කාල සීමාව දීර්ඝ කිරීමේ අවශ්‍යතාවය යන කරුණු ඇතුළත්ව ගැටලු හා යෝජනා රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට zoom ඔස්සේ කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක එස්.ඒ.එන්.ඒ සුභසිංහ මහතා අදහස් දැක්වීම සඳහා එක්විය.

එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස් නිශාන්ත, විගණන අධිකාරි එන්.එම්.පී.එච්. වික්‍රමසිංහ, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ජේ.ඒ.ජේ.ටී ගනේපොල, අභ්‍යන්තර විගණක තුෂාරි ජයවර්ධන,ප්‍රධාන ගණකාධිකාරී චන්දනී නිල්මල්ගොඩ, සබරගමුව පළාත් සභාවේ ප්‍රදාන ගණකාධිකාරි එච්.ඒ.ඩී හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නියෝජ්‍ය සහ සහකාර සැලසුම් අධ්‍යක්ෂවරුන්, ගණකාධිකාරිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.