2024 වර්ෂයේ ජාත්‍යන්තර දුම්වැටි හා මත් විරෝධී දින කොඩි වැඩසටහනට පූර්ව ප්‍රචාරයක් ලබාදීම සඳහා වයස අවුරුදු 17 ට වැඩි තරගකරුවන්ගේ සහභාගිත්වයෙන් මාර්ග ධාවන තරගයක් අද දින (2024 05 31) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශය මගින් සංවිධානය කර තිබිණ. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ උපදෙස් වලට අනුව සමෘද්ධි බැංකු අලුත් අවුරුදු උත්සවයන්හි මාර්ග ධාවන තරගවලින් ප්‍රථම ස්ථානය දිනාගත් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම මැරතන් ධාවන තරගයට දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීන්ගේ අධීක්ෂණය හා සහයෝගය ද නොමදව ලැබී තිබිණ.

මෙම ධාවන තරගය අද දින පෙරවරු 7.30 ට කෑගල්ල නිදහස් මාවතේ සතිපොළ ස්ථානයෙන් ආරම්භව විකල්ප මාර්ගය හරහා මීපිටිය දක්වා ගමන් කර නැවත එම මාර්ගයේම රන්වල හන්දියේ විකල්ප පිවිසුම දක්වා ගොස් ආරම්භක ස්ථානයටම පිවිසීම මෙහි ගමන් මාර්ගය විය.

මෙම තරගයෙන් A. K. P. S. කවිෂ්ක (රුවන්වැල්ල), H. A. T. ධනංජන (වරකාපොළ), M. ජගත් ගයාන් (දැරණියගල), L. දිනිම් නවෝද්‍ය (කෑගල්ල), W. A. ගිහාන් ආදිත්‍ය (කෑගල්ල) යන ක්‍රීඩකයන් ස්ථාන ලබා ගැනීම විශේෂත්වයක් විය.

මෙම අවස්ථාවට කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතංගොඩ, කෑගල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ කුසුම් බණ්ඩාර, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, කෑගල්ල මහ රෝහලේ කාර්ය මණ්ඩලය, කෑගල්ල දිස්ත්‍රික් රතුකුරුස සංවිධානය, කෑගල්ල පොලිසිය හා තරගකරුවන්ගේ භාරකරුවන් වූ මවුපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.