ළමුන්ගේ හා කාන්තාවන්ගේ සුබසෙත වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ ප්‍රගතිය විමසා බැලෙන දිස්ත්‍රික් ළමා හා කාන්තා කමිටුව අද (12) පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම්/දිසාපති රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී රැස්විය.

එ අනුව සෞඛ්‍ය, පෝෂණය හා මානසික සංවර්ධනය , ළමා අපයෝජනය හා ළමා අපචාර, අධ්‍යාපනය, භාරය,ආරක්ෂාව, ආයතනගත ළමුන් සමාජ ගත කිරීම්, ළමා ශ්‍රමය, කොට්ඨාස මට්ටමින් පවතින ළමා හා කාන්තා ගැටලු ඇතුලු කරුණු රැසක් පිළිබඳ මෙම කමිටුවේ දී අවධානය යොමු කෙරිණි.

මෙම කමිටුවේ දී සාකච්ඡා කළ කරුණු අතර පරිවාස භාරයට පත් වන දරුවන්ට සහතික කළ පාසල් ලබා දිමට මේ වන විට කටයුතු කෙරෙමින් පවතින බව ප්‍රකාශ විය. නවක විවාහක යුවළවල් පවුල් සේවාව සමඟ ලියාපදිංචි වීමේ අඩු ප්‍රවණතාවයක් පවතින බැවින් ග්‍රාම නිලධාරින්ගේද සහය ලබා ගනිමින් තවදුරටත් එම කටයුත්ත සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාවය මෙහිදි පෙන්වා දුන් අතර ග්‍රාමීය මට්ටමින් පවත්වන මව් හවුල රැස්වීම් හරහා තොරතුරු පවුල් සෞඛ්‍ය නිලධාරීන්ට ලබා ගැනීමේ ඇති හැකියාවද මෙහි දි පෙන්වා දුණි. තවද දිස්ත්‍රික්කය තුල අඩුබර දරු උපත්වල වැඩි ප්‍රවණතාවයක් පවතින බවත් මෙහිදි අනාවණය විය.

මෙම වසරේ ගතවුනු මාස පහක කාලයක් තුල පවුල් ආරවුල් සම්බන්ධ පැමිණිලි 1438ක් වාර්තා වි ඇති අතර වයස්ගත කාන්තාවන් හා අඩු වයස් දරුවන් දුෂණයට ලක්විමේ තත්වයක් පවතින බවත් දෙමාපියන් යටතේ හැදී වැඩෙන දරුවන් ද සමීපතම අය නිසා අතවරයට ලක් වීමේ අවස්ථා සුලබව ඇති බැවින් දැනුවත් කිරිම තවදුරටත් ව්‍යාප්ත කළ යුතු බව මෙහිදි පෙන්වා දුණි.

පූර්ව ළමා විය සංවර්ධනයට අදාලව මෙහිදී ප්‍රකාශ කල කරුණු අතර විශේෂයෙන් නුපුහුණු පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන මේ වන විට දීප ව්‍යාප්තව සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන බවත් එක් පොදු විෂය නිර්දේශයක් පෙර පාසල් පද්ධතියට හඳුන්වා දිමට මේ වන විට කටයුතු සැකසෙමින් පවතින බවත් කියාවිණි.කෑගල්ල දිස්ත්‍රික්කය තුල ළමා ශ්‍රමය සම්බන්ධව පැමිණිලි වාර්තා නොවන බවද, සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් ළමුන් 264ක් පුනරුත්ථාපනය කිරීමට මෙම වසරේදී අපේක්ෂිත බවද මෙම කමිටුවේ දී අනාවරණය විය.

දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලාධාරී එච්.එම්.සී කාන්ති හේරත් මහත්මිය ඇතුලු එම අංශය විසින් මෙම හමුව සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස් නිශාන්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත යන මහත්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ළමා හා කාන්තා විෂයන්ට අදාල දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.