ආසියානු සංවර්ධන බැංකු නියමු ව්‍යාපෘතියේ මූලික සමීක්ෂණයෙන් පසු එහි දෙවැනි සමාරම්භක වැඩසටහන පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂිකා කුසුම් බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට පැවරී ඇති රාජකාරී වපසරියෙන් ඔබ්බට යමින් එහි නියමු ව්‍යාපෘතියක් ලෙස මෑතකදී ක්‍රියාත්මක අස්වැසුම වැඩසටහන හා එම ප්‍රතිලාභීන් අතරින් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4ක් නියෝජනය වන පරිදි වසමකින් පවුල් ඒකක 50 බැගින් තෝරාගෙන එම පවුල් ඒකකවලින් පවුල් 32ක් පරිගණක පද්ධතිය ආශ්‍රයෙන් තෝරාගෙන එම පවුල් ඒකක සවිබල ගැන්වීමයි සමෘද්ධි දෙපාර්තමේන්තුවෙහි අරමුණයි.

මෙසේ තෝරා ගත් වරකාපොළ, දැරණියගල, යටියන්තොට ප්‍රාදේශීය කොට්ඨාසවලින් වසම් 5 බැගින්ද රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වසම් 10ක්ද වශයෙන් වසම් 25ක් ආවරණය වන පරිදි පවුල් 1250ක් තෝරා ගැනීමට නියමිතයි.

සවිබල ගැන්වීමේ වැඩසටහනට තෝරා ගැනෙන පවුල් ඒකකවලට දායකත්වය ලබාදීමට සමෘද්ධි අමාත්‍යංශය කටයුතු කරමින් පවතින අතර මෙහි පළමු අදියරේ සමීක්ෂණ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කොට තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 ආවරණය වන පරිදි ඉහත නිර්ණායකයට අනුව තෝරාගත් පවුල් ඒකක පිළිබඳ දත්ත පරිගණකගත කොට ඇති අතර එම පවුල් ඒකක 50 අතරින් සවිබල ගැන්වීමේ පවුල් 32ක තෝරා ගැනෙනුයේ පරිගණක දත්ත පද්ධතිය ආශ්‍රය කර ගනිමින්. ඒ, දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ නියෝජිත නිලධාරියෙකු, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ, කොට්ඨාස 4හි ප්‍රාදේශීය ලේකම්තුමන්ලාගේ නියෝජිත නිලධාරීන්, සමෘද්ධි දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සමෘද්ධි කළමනාකරන නිලධාරීන්ගේ සෘජු අධීක්ෂණය යටතේයි.

මෙහිදී ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හරහා ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක් අතුරින් එක් නියමු ව්‍යාපෘතියක් වන සවිබල ගැන්වීමේ වැඩසටහන දිවයිනේ දිස්ත්‍රික්ක 13ක් අතරින් කෑගල්ල දිස්ත්‍රික්කය මේ වන විට ප්‍රථමයෙන්ම මූලික සමීක්ෂණ කාර්යයන් අවසන් කිරීමම සුවිශේෂී ජයග්‍රහණයක් මෙන්ම එම කාර්යයට සම්බන්ධ වූ සියලු නිලධාරීන්ට එය සතුටුදායක පණිවුඩයක්ද වනු ඇති. ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජපන් ආධාර මෙන්ම සමෘද්ධි බැංකු පද්ධතිය එකතුව මෙම ක්‍රියාවලියට ආධාර සපයනු ලබන අතර සමෘද්ධි දෙපාර්තමේන්තුව හරහායි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ.

මෙම නියමු ව්‍යාපෘතියේ දෙවැනි අදියර 2024/25 යන වසර දෙක තුළ කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කොට අවසන් කළ යුතු වෙනවා. 2024 ජූලි 01දායින් ඇරැඹි මෙම ව්‍යාපෘතිය 2026 මැයි 31 දිනෙන් අවසන් වීමටද නියමිතයි.

මෙහිදී අරමුණ පැහැදිලි කරමින් අදහස් දැක් වූ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ තුමිය: " මෙම මූලික සමීක්‍ෂණ කටයුතු සාර්ථකව නිම කර ගැනීමට උරදුන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් දුෂ්කර කාල පරාසයන් තුළ, දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ඉතාමත් කෙටි කලකින් මෙම සමීක්ෂණය සාර්ථක කර ගැනීම සඳහා එකමුතුව කැපවීමෙන් වැඩ කිරීම විශේෂයෙන් අගය කළ යුතුයි" එමෙන්ම මෙම කාර්යයට උරදුන් සියලුම රාජ්‍ය නිලධාරීන්ට ස්තූතිවන්ත වන අතර විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණය වන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන්ගේ පවා පැසසුමට එම නිලධාරීන් පාත්‍ර වූ බවද එතුමිය වැඩිදුරටත් පවසා සිටියේය.

මූලික සමීක්ෂණයෙන් පසු ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඒ ඒ වසම්වලින් පරිගණක දත්ත ආශ්‍රයෙන් තෝරාගත් පවුල් ඒකක පිළිබඳ තොරතුරු සමෘද්ධි සංවර්ධන නිලධාරීන් අතට පත් කිරීමද අද දින සිදුකරනු ලැබුවා. මේ වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම හා ඒ පිළිබඳව පුහුණුවක් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට ලබාදීමේ අරමුණ ඇතිවයි අද දින මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ.

මෙහිදී විෂය පථය පිළිබඳ මනා පරිචයකින් යුතු සම්පත් දායකයින් දෙපළක් මේ සඳහා සම්බන්ධව සිටි අතර ආසියානු සංවර්ධන බැංකු නියෝජිත නෙවිල් විසිදාගම හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු සුනිල් වීරසිංහ යන මහත්මාවරුන් විසින් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීම කැපී පෙනෙන්නක්. සාර්ථක දැනුවත් කිරීමේ වැඩමුළුවක් ලෙස පැවැති මෙම වැඩසටහනට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 නියෝජනය කරමින් සමෘද්ධි කළමනාකරණ නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශයේ නිලධාරීන් සහභාගි වී සිටියා.