දිස්ත්‍රික්කයේ කෘෂි ක්ෂේත්රයට අදාළව ප්‍රගතිය විමසා බැලෙන මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ දිස්ත්‍රික් කෘෂි කමිටුව අද (23)පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් /දිසාපති රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
කෘෂිකර්ම අමාත්‍යංශය ,පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අදාළව ප්‍රගතිය විමසා බැලීම මූලින්ම සිදුකෙරිණි.මෙම වසරේ යල කන්නයේ සඳහා පොහොර ලබාදීමේ වැඩසටහන , සුහුරු තාක්ෂණය භාවිතයෙන් පොහොර සඳහා ගෙවීම් සිදුකිරීම, තිරසාර ගෙවතු වගා වැඩසටහන් ඇතුළු ක්‍රියාත්මක ව්‍යාපෘතීන් රැසක් පිළිබඳ එහිදී කරුණු විමසා බැලිණි. මෙම වසරේ ගෙවතු තුන්දහස් දෙසිය අනූ නමයක් පිහිටුවීමට ඉලක්ක කර ඇති අතර සුහුරු තාක්ෂණ භාවිතයෙන් හරිත ගෘහ ඉදිකිරීම් සඳහා මේ වන විටත් දිස්ත්‍රික්කයේ ගොවීන් 150කට වඩා වැඩි පිරිසකගෙන් ඉල්ලීම් ලැබී ඇති බව ප්‍රකාශ කෙරිණි.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ දිස්ත්‍රික්කයේ අවශ්‍යතාවයන් සඳහා කෘෂි භෝග දිස්ත්‍රික්කය සතුවම නිෂ්පාදනය වන බවත්, විශේෂයෙන් කරදමුංග බෝග පැළ නිෂ්පාදනය ඉහළ මට්ටමක පවතින බවත් කියැවිණි. මෙම වසරේ දෙවන කාර්තුව වන විට රබර් නව වගාවන් හෙක්ටයාර් 13කත්, නැවත වගා කිරීම හෙක්ටයාර් 61කත් සිදුකර ඇත. තවද කිරි කැපුම් ශිල්පීන් පුහුණුව, අපරිමිත හා පරිණත බලපත්රලාභයෙන් පුහුණු කිරීම, රබර් වෙළඳ බලපත්‍ර හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුවන බව ප්‍රකාශ විය.
දිස්ත්‍රික්කය පොල් පැල විසි දහසක් සිටුවීම මෙම වසරේ අපේක්ෂාව වන අතර පොල් සංවර්ධන මණ්ඩලය විසින් මේ වනවිට ගෙවතු වගා යටතේ පොල් පැල 2138 ක් වගා කර ඇත. එමෙන්ම දිවයින පුරා සුදු මැස්සන් හානිය සිදුවන බවත් තවමත් කෑගල්ල දිස්ත්‍රික්කය එහි දැඩි බැලපෑමට ලක්ව නොමැති බවත් කහතිත් පළගැටි හානිය දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකින් වාර්තා වන බවත්, රතු කුරුමිණි හානිය පිළිබඳ ගොවීන් දැනුවත් කිරීමත් මේ වන විට සිදුවන බවත් කියැවිණි. මීට අමතරව වරකාපොල හා රුවන්වැල්ල ආශ්‍රිතව ජල ජීවී අපනයනකරුවන් දෙදෙනකු මේ වන විට බිහි වෙමින් පවතින අතර දිස්ත්‍රික්කය තුළ මත්සය අභිජන ජනන මධ්‍යස්ථාන පහක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් කියැවිණි.
හදබිම අධිකාරිය මගින් මෙම වසරේදී වාණිජ මට්ටමේ මී මැසි, බිම්මල්, පලතුරු ගම්මාන ප්‍රචලිත කිරීමේ වැඩසටහන් ග්‍රාම නිලධාරී වසම් කීපයක් කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන අතර තිරසර ගෙවතු වගා ප්‍රවර්ධන වැඩසටහන් ,ජල මූලාශ්‍ර සහ දියකඳුරු සංරක්ෂණ කිරීම වැඩසටහන් ඇතුළු ව්‍යාපෘතීන් රැසක් සිදු කිරීමට ද අපේක්ෂා කෙරේ.
මීට අමතරව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, සමෘද්ධි දෙපාර්තමේන්තුව ආශ්‍රිතව සිදු කරන ව්‍යාපෘතීන් පිළිබඳව ද ප්‍රගතිය විමසා බැලිණි.ගොවි සංගම් නියෝජිතයින් විසින්ද මෙහිදී අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලදී.
මෙම කමිටුවට සමගාමීව ඉඩම් පරිහරණ හා පරිසර කමිටුද රැස්විය.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ එම්.එස් තිලකසිරි, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ වීරකෝන්, දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ කුසුම්බණ්ඩාර යන මහත්ම මහත්මීන් ,ප්‍රාදේශීය ලේකම්වරුන්, කෘෂිකර්ම, ඉඩම්, පරිසර ක්ෂේත්රයන්ට අදාල දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
























