කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සන්නාම 500ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි (B500) “සුවිශේෂී වූ පාරිභෝගික සත්කාර සේවාවක් “ තේමාවෙන් ක්‍රියාත්මක කෑගල්ල දිස්ත්‍රික් දැනුවත් කිරීමේ වැඩසටහන අද (08) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකයින් හට අපනයන වෙළඳපොළ ආකර්ෂණය කර ගත හැකි ව්‍යාපාර සන්නාම බවට පත් කිරීම සඳහා සන්නාමකරණය පිළිබඳ දැනුවත් කිරීම,සන්නාමයන් ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය උපක්‍රමික සැලසුම්, සන්නාමකරණයට අදාල පහසුකම් සැපයීම, දේශීය සහ විදේශීය වෙළඳපළ අවස්ථා ඇති කිරීම, ව්‍යාපාරික ගැටලු සඳහා නිසි රාජ්‍ය මැදිහත්වීමක් සිදු කිරීම, සපලදායී පසු විපරම් ක්‍රියාවලිය තුළින් ව්‍යාපාරික තිරසර භාවය ඇති කිරීම සහ සමාජය තුළ සන්නාමකරණය පිළිබඳ ආකල්ප ප්‍රචලිත කිරීම මෙම දැනුවත් කිරීමේදී සිදුකෙරිණි. ඒ සඳහා අවශ්‍ය දැනුම ලබා දීමට එක් වූයේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති, අධ්‍යක්ෂ ජෙනරාල් වසන්ත කාරියක්පෙරුම මහතාය. ඒ අනුව ඉදිරියේදී ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ මෙහෙයවීම යටතේ ව්‍යවසායකයින් කාණ්ඩ කරමින් මෙම දැනුවත් කිරීම් පවත්වාගෙන යාමට සැලසුම් කර ඇත.

එමෙන්ම ව්‍යවසායකයන්ට ආයෝජනය කිරීමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙහිදී එක්වූයේ පවර් හෑන්ඩ් ප්ලාන්ටේශන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ නිලධාරීන්ය.

මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ දිස්ත්‍රික් ව්‍යවසාය සංවර්ධන නිලධාරිනී සකුන්තලා ප්‍රියංගනී මහත්මිය ඇතුළු එම අංශය විසිනි.

එම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම්/ දිසාපති රංජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත යන මහත්වරුන්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ව්‍යවසායකත්ව සංවර්ධන නිලධාරීන්, විදාතා, ඵලදායිතා,අපනයන සංවර්ධන නිලධාරීන් ,ව්‍යවසායකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.