ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ මෙහෙයවීම සහ අධීක්ෂණය යටතේ දිවයින පුරා සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවි බල ගැන්වීම වෙනුවෙන් දිවයින පුරා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අනුව සාර්ථක ව්‍යවසායකයන්ගේ දැනුම හා අත්දැකීම් හුවමාරුව, ඔවුනගේ ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීම, ව්‍යවසායකයන් හා සම්බන්ධ වී සිටින ඵලදායිතා නිලධාරීන්ගේ දැනුම යාවත්කාලීන කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය වන දැනුවත් කිරීමේ වැඩසටහනෙහි කෑගල්ල දිස්ත්‍රික් පුහුණු වැඩමුළුවක් අද(21) දවස පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් තෝරාගත් ගත් ව්‍යවසායකයන් 25 දෙනෙක් සහ ඔවුනට උපදේශන සේවා සපයන ඵලදායිතා සංවර්ධන නිලධාරීන් සහභාගී වූ මෙම එක්දින වැඩමුළුවේදී අලෙවි කළමනාකරණය හා වටිනාකම් නිර්මාණකරණය පිළිබඳ තොරතුරු බෙදා හැරුණි. ඒ සඳහා එක් වූයේ ජ්‍යෙෂ්ඨ ඵලදායීතා නිලධාරී ගීත් රාජපක්ෂ මහතාය.

එමෙන්ම සාර්ථකත්වයට පත් වූ ව්‍යවසායකයන් වන නිව් එවරස්ට්, සෙනුලි බතික් හා සහ මිහිර ෆූඩ් ප්‍රඩක්ට්හි හිමිකරුවන් විසින් පැමිණ සිටි සෙසු ව්‍යවසායකයන් සමඟ සිය අත්දැකීම් හුවමාරු කර ගැනීමේ අවස්ථාවක්ද මෙම වැඩමුළුවේදී සලසා තිබිණි.

දිස්ත්‍රික් ඵලදායිතා අංශය විසින් මෙම පුහුණු වැඩමුළුව සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් /දිසාපති රංජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ දර්ශනී රණසිංහ යන මහත්ම මහත්මීන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඵලදායීතා නිලධාරීන්, විදාතා, ව්‍යවසාය සංවර්ධන, අපනයන කෘෂිකර්ම නිලධාරීන් , ව්‍යවසායකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.