×

පණිවුඩය

Invalid Page Request

සුරක්ෂිතතාව හා ජීවනෝපාය සංවර්ධන හදිසි ආධාර ව්‍යාපෘති වැඩසටහන -2024 ක්‍රියාත්මක කරමින් එම වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින ( 2024 10 08 ) පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීයි. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් /දිසාපති J. M. R. P. ජයසිංහ මහත්මාගේ පූර්ණ අධීක්ෂණය හා උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය මගිනි.

මෙහිදී පැමිණ සිටි සියලු දෙනා පිළිගනිමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරීනී R. M. P. Y. රත්නායක මහත්මිය විසින් පිළිගැනීමේ කතාව සිදුකළ අතර දිස්ත්‍රික් සමාජසේවා නිලධාරී සරත් රණවීර මහත්මා විසින් වැඩසටහන පිළිබඳ අරමුණ පැහැදිලි කරන ලදී. කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ අධ්‍යක්ෂ සැලසුම් නිලන්ත වික්‍රමනායක මහතා සඳහන් කළේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය විසින් ලංකාවේ දිස්ත්‍රික්ක 25 නියෝජනය වන පරිදි ආබාධ සහිත පුද්ගලයන් සඳහා වියළි ආහාර ලබා දීමේ වැඩසටහනට සමගාමීව අද දින පවත්වනු ලබන මෙම වැඩසටහන දස වැනි වැඩසටහන බවයි. දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි තෝරාගත් දිස්ත්‍රික්ක 11කට මෙම මූල්‍යාධාර ලබාදීමට සැලසුම් කර ඇති බවත් මේ වන විට එම දිස්ත්‍රික්කවල වැඩසටහන් 09 ක් සංවිධානය කොට ප්‍රතිලාභීන් 500කට පමණ ප්‍රතිලාභ ලබාදීමට සැලසුම් සකස් කර ඇති බවත්ය.

කෑගල්ල දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 අතුරින් ආබාධ සහිත දරුවන් වෙසෙන පවුල් 50ක් තෝරා ගනිමින් ඔවුන්ට අවශ්‍ය පාසල් උපකරණ ලබාදීම හා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමත් වැඩිහිටියන්ගේ හා දරුවන්ගේ මනස නිරවුල් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමත් ඉදිරි මාසයේදී රු : 12 000/= ක මුදලක් ඔවුන්ගේ ගිණුමට බැර කිරීම පිළිබඳවත් දැනුවත් කිරීම මෙම වැඩසටහනෙහි අරමුණු විය. බැංකු ගිණුමට බැරවන මෙම මුදල ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ට අවශ්‍ය අභිමත සිල්ලර භාණ්ඩ ඕනෑම නිල මුද්‍රාවක් සහිත ව්‍යාපාරික ස්ථානයකින් මිලදී ගැනීමට අවකාශ සැලසෙන අතර එම මුදල මගින් මිලදී ගත් භාණ්ඩ පිළිබඳ වැය විස්තරය තම කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයට ලැබෙන්නට සැලැස්විය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ආබාධ සහිත තැනැත්තකු වෙසෙන පවුලක් යනු වෙනත් ගෘහ ඒකකයකට වඩා විශේෂිත පවුල් ඒකකයක්. එවැනි ආබාධ සහිත පුද්ගලයකු රැකබලා ගැනීම, ආබාධිත පුද්ගලයාගේ මානසික තත්ත්වය සහ පවුල් සාමාජිකයන්ගේ මානසික තත්වය නිරවුල්ව පවත්වා ගැනීම අනිවාර්යයි. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය මානසික උපදේශනය ලබාදීම ඉතා වැදගත්. එම අරමුණ ඇතිව මෙම වැඩසටහනට සමගාමීව සම්පත් දායකයින් ලෙස සහභාගී වූ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශන නිලධාරී රේණුකා ජයරත්න මහත්මිය විසින් "ආබාධ සහිත පුද්ගලයන් රැකබලා ගන්නන්ගේ මානසික සෞඛ්‍ය සංරක්ෂණය උදෙසා චිකිත්සක ක්‍රම භාවිතය" හා රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරී ගයානි හරිශ්චන්දූ විසින් "ආබාධ සහිත පවුල්වල මතුවන ගැටලු අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග" හා ඒ හා සම්බන්ධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත දැනුවත් කිරීමක් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට ආබාධිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයෙහි නිලධාරීන්, ආබාධ සහිතවූවන් සහ ඔවුනගේ පවුලේ සාමාජිකයන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.