ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය ප්‍රතිපාදන යටතේ සමාජ සුභසාධන අමාත්‍යාංශය මගින් අඩු ආදායම්ලාභී ආබාධ සහිත දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් අතුරින් පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් ඊයේ දින (09) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය හා උපදේශය මතය.

මෙම වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කයට ලබාදීම් සමාජ සුභසාධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) H. T. R. නාලිකා පියසේන මහත්මියගේ මැදිහත්විම මත සිදු කෙරිණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ම නියෝජනය වන පරිදි ආබාධ සහිත තෝරාගත් සිසු දරු දැරියන් 50 දෙනෙකු සඳහා එක් දරුවකුට රු: 15 000/= ක පමණ වටිනාකමකින් යුතු පාසල් උපකරණ බෙදා දීමට සමගාමීව එම දරු දැරියන්ගේ මානසික තත්ත්වය යහපත් තත්ත්වයට පත් කිරීම සඳහා උපදේශන ක්‍රියාකාරකම් කිහිපයක් ද සංවිධානය කිරීම හා ළමයින් ලවා චිත්‍ර ඇන්දවීමත් මෙහි සුවිශේෂී අංගයක් විය.

ළමුන් අඳින ලද සිතුවම් දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ නිරීක්ෂණයට ලක් වූ අතර එතුමන්ගේ සහ කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශයේ අධ්‍යක්ෂ සැලසුම් නිලන්ත වික්‍රමනායක මහත්මාවරුන්ගේ සහයෝගීතාවයෙන් ළමුන් සඳහා පාසල් උපකරණ බෙදා දීමද මෙහිදී සිදු විය.

මෙහිදී ළමුන් සඳහා උපදේශන ක්‍රියාකාරකම් සිදු කරන ලද්දේ සම්පත් දායකයින් දෙපළක් වන වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී (උපදේශන) මධුෂානි සන්ධනායක සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරී M. D. M. ඉක්බාල් යන මහත්ම මහත්මීන් විසිනි.

කෑගල්ල දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සරත් රණවීර මහතා ඇතුළු සමාජ සේවා අංශය විසින් මෙම වැඩ සටහන සංව්ධානය කර තිබුණි.

ආබාධිත සිසු දරු දැරියන්ගේ මව්පිය පාර්ශවය නියෝජනය කරමින් මාපිය දෙපලක් මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වීමක්ද කරන ලදී. එම දෙපළගේ අරමුණ වූයේ "මෙවැනි අවශ්‍යතා ඇති දරුවන් හඳුනාගෙන ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට සක්‍රීයව දායක වීමට ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයටත්, සමාජ සුභසාධන අමාත්‍යංශයටත්, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයටත් තව තවත් ශක්තිය හා ධෛර්යය ලැබේවා" යන්නයි.

මෙම වැඩසටහන සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙහි පරිපාලන නිලධාරිනී යාමිනී රත්නායක මහත්මිය ,සමාජ සුභසාධන අමාත්‍යංශයේ නිලධාරීන්, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයේ නිලධාරීන්, ආබාධිත ළමුන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසන් සහභාගි වුහ.