කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ ජාතික කාන්තා කමිටුවේ පූර්ණ මෙහෙයවීම හා ප්‍රතිපාදන මත කාන්තා හිංසන සිද්ධින් සම්බන්ධව ක්‍රියාකිරීමේදී පොලිස් ස්ථානාධිපතිවරුන් තුල සංවේදීභාවය හා ප්‍රතිචාරාත්මකභාවය වර්ධනය කිරීමේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන ඊයේ (09) කෑගල්ල අඹසෙවන හෝටල් පරිශ්‍රයේදී දවස පුරා පැවැත්විණි.

ජාතික කාන්තා කමිටුව යටතේ ක්‍රියාත්මක 1938 ගාස්තුවෙන් තොර කාන්තා උපකාරක සේවා දුරකතන පද්ධතියක් ක්‍රියාත්මක වේ.එය පැය 24 පුරා කාන්තාවන් සම්බන්ධව එන පැමිණිලි භාර ගන්නා අතර පොලීසිය, අමාත්‍යාංශයේ ළමා හා කාන්තා ඒකක සමග සම්බන්ධීකරණෙයන් එම ගැටලු නිරාකරණය කර ගැනීමට ක්‍රියා කරනු ලබයි.මෙසේ සේවා සපයන ආයතන අතර සම්බන්ධීකරණය විධිමත් කිරීම, සංවේදීභාවය ඇති කිරීම තවදුරටත් වර්ධනය කරලීම මෙම වැඩසටහනෙහි අරමුණ විය.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/ දිසාපති රංජන ජයසිංහ මහතා විසින් සියලු දෙනා පිළිගැනීමෙන් අනතුරුව වැඩසටහන පිලිබද හදුන්වා දීම ජාතික කාන්තා කමිටුවේ එන් .හේමකුමාරි මහත්මිය විසින් සිදු කරන ලදී.අනතුරුව වැඩසටහනට සම්බන්ධවූවන් හදුනාගැනීම සිදු වූ අතර ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ක්‍රියා වැළැක්වීමේ පනත පිලිබද දේශනය ජාතික කාන්තා කමිටුවේ නීති නිලධාරී එච්.සී.ඩී ද සොයිසා මහත්මිය විසින් ඉන් අනතුරුව පවත්වන ලදී.

කාන්තාව, නීතිය හා පොලීසියේ භූමිකාව පිලිබද නීතීඥ සිතිරා ෛවද්‍යෙස්කර මහත්මිය විසින් පැහැදිලි කරන ලද අතර කාන්තා හා ළමා හිංසනය පිලිබද පොලිස් නිලධාරීන්ගේ කාර්‍යභාරය පිලිබද දේශනය කෑගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්‍යංශයේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝශා මුල්ලේංගොඩ මහත්මිය විසින් සිදුකරන ලදී.

මෙම අවස්ථාවට සමගාමීව කාන්තා හිංසනයන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේදී පවතින ගැටලු පිලිබදවද සාකච්ඡා කෙරිණි.

දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිලධාරී මනෝරි දෙහිමඩුව මහත්මිය ඇතුලු එම අංශය මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

එම අවස්ථාවට කොට්ඨාස භාර කාන්තා හා ළමා ඒකකයන්හි ස්ථානාධිපතිවරුන්, විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරුන්, පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ ස්ථානාධිපතිවරුන්, ඇතුලු පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන්, වනිතා සංවර්ධන නිලධාරීන් හා ක්ෂේත්‍ර සහකාරවරුන්, උපදේශන නිලධාරීන් හා උපදේශන සහකාර නිලධාරීන් , ජාතික කාන්තා කමිටුවේ නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.