ඔක්තෝම්බර් මස 01 දිනට යෙදුණු ලෝක වැඩිහිටි දිනයෙහි මෙවර තේමව "සත්කාරක හා ආධාර පද්ධති ශක්තිමත් කරමින් ගෞරවාන්විත වයස්ගතවීමක් යන්නයි." ඊට සමගාමීව මෙවර කෑගල්ල දිස්ත්‍රික් වැඩිහිටි දින සැමරුම දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කෑගල්ල නගර සභා ශාලාවේදී නිමාවට පත් විය.

මෙවර සැමරුම ආරම්භ වුයේ ජේෂ්ඨ පුරවැසියන්ගේ සහභාගීත්වයෙන් ඇරඹි පාගමනකින් අනතුරුවය. දෙටුවර අභිමන් වැඩිහිටි දින සැමරුමේදි මෙම වසරේ හොදම ක්‍රියාකාරී වැඩිහිටි බල මණඩල තුනක් සදහා උපහාර පිරිනැමූ අතර එහි පලමු, දෙවන හා තෙවන ස්ථාන පිලිවෙලින් දැරණියගල , ගලිගමුව හා දෙහිඕවිට වැඩිහිටි බල මණ්ඩල දිනා ගන්නා ලදී.

ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වැඩිහිටි සංවිධාන අතර කාර්ය සාධන තරගාවලියේ පුරෝගාමී සේවාවන් ඉටු කල හොදම ග්‍රාමීය කමිටු 11ක් ද මෙහිදී ඇගයීමට ලක්විය. තවද මානව වින්දනයේ නිම් වළලු පුළුල් කිරීම වෙනුවෙන් පැවැත් වූ පැහැසර ගී තරු උපහාරයන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11හි ඒ ඒ කොට්ඨාසවල හොදම ගායනයන් වෙනුවෙන් ගී තරු 11 ක් වෙනුවෙන් පිරිනැමිණි. චිත්‍ර ඇදීමට දක්ශ වැඩිහිටියන් අතරින් ජයග්‍රහණය ලද වැඩිහිටියන් 11 දෙනෙකු "දෙටුවර සිත්තම්" උපහාරයෙන් පිදුම් ලැබීය.එමෙන්ම ස්ව ශක්තියෙන් නැගීසිටිමින් තම දිවි සරු කරගත් ජේෂ්ඨ පුරවැසියන් 11 දෙනෙකුට "දිරිය භූෂණ" සම්මාන පිරිනැමිණි.

HelpAge Sri Lanka ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලය , දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරී ඩිලානි කුමරි මහත්මිය ඇතුලු එම අංශය එක්ව පැවැත්වූ මෙවර වැඩිහිටි දින සැමරුම සදහා ඩාලි බට්ලර් සමාගමද අනුග්‍රාහකත්වයක් ලබා දී තිබුණි.
වැඩිහිටියන් රැසකගේ ගායන, නර්තන හා රංගන හැකියාවන්ගෙන් විචිත්‍රවත් වූ මෙම වැඩසටහන සදහා වැඩිහිටියන් පන්සීයකට ආසන්න පිරිසක් එකව සිටීම සුවිශේෂී කරුණුක් විය.

මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන ) කේ.ජී.එස් නිශාන්ත , සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ශා එල් ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන් හා මාණ්ඩලික නිලධාරීන් , කෑගල්ල , වරකාපොල, අරණායක ප්‍රාදේශීය ලේකම්වරුන් , HelpAge Sri Lanka ආයතනයේ විධායක අධ්‍යක්ෂ සමන්ත ලියනවඩුගේ,ඩාලි බට්ලර් සමාගමේ අලෙවි ප්‍රවර්ධන විධායක නිලධාරී කුෂාන් විජේරත්න ,දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරීන් , රාජ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් එකව සිටියහ