සෑම වසරකම ඔක්තෝබර් මස 10 වනදා ලෝක මානසික සෞඛ්‍ය දිනය සැමරේ. ඊට අදාලව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීම මත දීප ව්‍යාප්තව මානසික සෞඛ්‍ය සතියක් ක්‍රියාත්මක කෙරිණි. එහිලා කෑගල්ල දිස්ත්‍රික් උපදේශන වැඩසටහන අද (29) දිස්ත්‍රික් ලේකම්/ දිසාපති රන්ජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

2024 වසරේ මෙවර මානසික සෞඛ්‍ය දිනයේ තේමාව "රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යයට ප්‍රමුඛතාවය දිය යුතු කාලයයි" යන්නයි. ඒ අනුව සබඳතා ගොඩනගා ගැනීම සහ ඇතිවන ගැටලු පිළිබඳවත්, ඵලදායි සේවයක් උදෙසා මානසික සෞඛ්‍යයෙහි වැදගත්කමත් අරමුණු කරගනිමින් දැනුවත් කිරීම් අද දවස පුරා සිදුකෙරිණි.

මේ සඳහා සම්පත් දායකත්වය පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ,සායනික මනෝ විද්‍යාඥ කාන්ති හෙට්ටිගොඩ සහ විශේෂඥ මනෝ වෛද්‍ය අනෝමා ජයසිංහ මහත්මිය විසින් ලබා දුන් හ. එමෙන්ම කථිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ උපදේශන මනෝ ප්‍රතිකාර පුහුණුකරු ධර්මසිරි මල්ලිකාරච්චි මහතා විසින් මානසික ආතතිය දුරලීම වෙනුවෙන් පවතින ප්‍රායෝගික අභ්‍යාස කිහිපයක් සිදු කරන ලදී.

මෙම උපදේශන වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ,අධ්‍යාපන, පොලිස්, බන්ධනාගාර, සෞඛ්‍ය, සමාජ සේවා ඇතුළු අංශ කිහිපයක නියෝජනයෙන් දිස්ත්‍රික් මනෝවිද්‍යා උපදේශන හා මනෝ සමාජය මැදිහත්වීමේ කමිටුවක්ද ස්ථාපිත කිරීමට කටයුතු කෙරිණි.

දිස්ත්‍රික් මනෝවිද්‍යා උපදේශන නිලධාරී එම්.බී.එම් ඉක්බල් මහතා ඇතුළු දිස්ත්‍රික් මනෝ උපදේශන අංශය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ .ජී. එස් නිශාන්ත ,අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත යන මහත්වරුන්, සහකාර දිස්ත්‍රික් ලේකම්තුමිය, ප්‍රධාන ගණකාධිකාරීතුමිය, අධ්‍යාපන, පොලිස්, බන්ධනාගාර ,සෞඛ්‍ය, සමාජ සේවා ඇතුළු ක්ෂේත්‍රයන්හි නිලධාරීන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල මනෝ උපදේශන නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.