සමාජසේවා දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවනු ලබන ස්වශක්තිය සංවිධාන ඇගයීමේ "ස්වාභිමානී" - 2024 ජාතික සම්මාන ප්‍රධාන උළෙල පසුගියදා පැවැත්වුණේ බත්තරමුල්ල, සුහුරුපාය, 19 වැනි මහල ශ්‍රවනාගාරයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින්.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න මහත්මාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මාන සහතික පත්‍ර ප්‍රධාන උත්සවය පැවැත්වුණේ ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදියි.

මෙවර "ස්වාභිමානී" සම්මාන උළෙල මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ තරග අංශ 17 කින් තරග පහක ජයග්‍රහණය හිමි කර ගැනීමට කෑගල්ල දිස්ත්‍රික්කය සමත්ව තිබීම සුවිශේෂත්වයක්. එමෙන්ම මෙම ජයග්‍රහණ පහෙන් තුනකටම ජාතික මට්ටමෙන් ප්‍රථම ස්ථානය හිමිවීමයි විශේෂිත කාරණයක් වුණේ.

මෙම සම්මාන උළෙලෙහි අවසන් තරග විනිශ්චය ප්‍රතිඵල අනුව හොඳම දිස්ත්‍රික් නිලධාරියා ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් සමාජසේවා නිලධාරී ඩී. සරත් රණවීර මහතා ප්‍රථම ස්ථානයත්, හොඳම ප්‍රාදේශීය නිලධාරියා ලෙස බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි සමාජ සේවා නිලධාරී කේ. අරුණ ශාන්ති මහත්මියත්, හොඳම රෝහල් නිලධාරියා ලෙස කෑගල්ල මහ රෝහලෙහි සමාජ සේවා නිලධාරී එස්. සී. එන්. කරුණාරත්න මහත්මියත්, හොඳම ස්වශක්ති සංවිධානය ලෙස රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි 'ගැමුණු' ස්වශක්ති සංවිධානයෙහි සභාපති මහින්ද ජයතිලක දෙවැනි ස්ථානයත්, ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් හොඳම නව නිර්මාණය (විවෘත) දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි ආබාධ සහිත තරුණයකු වන එච්. ඩී. කේ. අනුර සඳරුවන් මහතා තෙවැනි ස්ථානයත් හිමි කර ගනිමින් කෑගල්ල දිස්ත්‍රික්කය තරග අංශ කිහිපයකින් ඉදිරියෙන් සිටීම මෙවර සම්මාන උළෙලෙහි කැපී පෙනෙන ලක්ෂණයක්.

මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් විශේෂයෙන්ම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජේ. එම්. ආර්. පී. ජයසිංහ මහත්මාත්, යාපනය දිස්ත්‍රික් ලේකම්තුමන්, අමාත්‍යංශවල අතිරේක ලේකම්තුමන්ලා ඇතුළු ඒ ඒ දිස්ත්‍රික්කවල සමාජසේවා නිලධාරීන් සහභාගි විය.