ළමුන්ගේ හා කාන්තාවන්ගේ ආරක්ෂාව හා සුබසෙත විමසා බැලෙන දිස්ත්‍රික් ළමා හා කාන්තා කමිටුව අද (20) දිස්ත්‍රික් ලේකම්/දිසාපති රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දි රැස් විය.

2024 වසරේ දිවයිනේ වැඩිම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සිදු කළ දිස්ත්‍රික්කය ලෙස කෑගල්ල දිස්ත්‍රික්කය පත්ව ඇති බවත් වසරේ මේ දක්වා මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවුවන් හතළිහක් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති බවත් මෙම හමුවේ දී කියා සිටියේ දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ බාහිර සහකාරක එස්.සී තොටවත්ත පියතුමන් විසිනි.සෞඛ්‍ය , පෝෂණය හා මානසික සෞඛ්‍ය සංවර්ධනය සම්බන්ධයෙන් ගත් කල දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 15- 24 ත් තරුණ පිරිස අතර ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් පවතින බව මෙහිදි සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දෙන ලදි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මටිටමින් මේ සම්බන්ධව දැනුවත් කිරිමේ අවශ්‍යතාවය පෙන්ව දුණි. එම දැනුවත් කිරිම් සඳහා සර්වෝදය සංවිධානයේ දායකත්වයද ලබා දිය හැකි බව එම සංවිධානය විසින් මෙහිදි කියා සිටියේ ය. එමෙන්ම මානසික සෞඛ්‍ය සඳහා යොමු වන දරුවන් කෙටි කාලීනව රඳවා තබා ගැනීමේ ස්ථානයක අවශ්‍යතායද මෙහිදී පෙන්වා දුණි.

ළමා අපයෝජන, ළමා අපචාර හා ගෘහස්ත හිංසනය සම්බන්ධයෙන් කළ විමසා බැලිමේ දී මේ දක්වා ළමා අපයෝජන හැට පහක් වාර්තා වී ඇති අතර ළමා මව්වරු බිහිවිමේ අවධානමක් පිළිබඳව ද අදහස් පල විය. පවුල් ආරවුල් සම්බන්ධයෙන් පැමිණිලි 2988ක් වාර්තා වී ඇත. ළමා ශ්‍රමය තුරන් කිරිම සම්බන්ධයෙන් දිස්ත්‍රික් කම්කරු කාර්යාල විසින් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත. ඒ අතර වතු ආශ්‍රිත දරුවන් වතු කම්කරුවන් ලෙස යොදු ගැනීමේ තත්වයක් වාර්තා වීඇති බවත් ඒ සම්බන්ධ විමර්ශන නිරතුරුම සිදු කරන බවත් කියැවිණි.එමෙන්ම වෙළඳ ආයතනවල සේවය කරන කාන්තා සේවිකාවන් තම සේවා කාලය තුල වැඩි කාලයක් හිටගෙන සේවාවන්හි නිරත විම වැළැක්වීම සඳහා අවශ්‍ය කටයුතු යෙදු බවද ප්‍රකාශ විය.

දිස්ත්‍රික්කය තුල මෙතෙක් උප්පැන්න සහතික ලබා ගෙන නොමැති පිරිස් සඳහා කඩිනමින් ජංගම සේවා පවත්වමින් එම සහතික නිකුත් කිරිමටද , දිස්ත්‍රික්කයේ සියලුම පදිංචිකරුවන්ට උප්පැන්න සහතිකයක හිමිකම ලබාදීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු මෙහිදි සැලසුම් කෙරිණි.එමෙන්ම සර්වෝදය, සාමය හා දයාව උදෙසා පදනම යන රාජ්‍ය නොවන සංවිධාන දිස්ත්‍රික්කය තුල ළමුන් සඳහා ක්‍රියාත්මක වැඩසහන් පිළිබඳවත් ඒවායෙහි ප්‍රගතිය පිළිබඳවත් අදහස් දැක්විය.

මෙම දිස්ත්‍රික් ළමා හා කාන්තා කමිටුව සංවිධානය කරන ලද්දේ දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි එච්.එම්.සී කාන්ති හේරත් මහත්මිය ඇතුලු එම අංශය විසිනි.

එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස් නිශාන්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම් ) දිලීප් නිශාන්ත, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකෝන් යන මහත්වරුන්, ප්‍රාෙද්ශීය ලේකම්වරුන්, ළමා හා කාන්තා විෂයන්ට අදාල රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.