කෑගල දිස්ත්‍රික්කයේ ජීවත්වන 57000 ක පමණ වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා කැපවූ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් සම්මාන පිරිනැමීමක් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වැවිලි මානව සංවර්ධන භාරය විසින් සිදු කරන ලදී.

මේ අවස්ථාවට එක් වෙමින් වැවිලි මානව සංවර්ධන භාරයේ අධ්‍යක්ෂ ජනරාල් ලාල් පෙරේරා මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ වතුකරයේ ජීවත්වන ජනතාවගේ ජීවන මට්ටම ඉහල නැගීම සඳහා වැවිලි මානව සංවර්ධන භාරය සංවිධානය කරනු ලබන වැඩසටහන්වල සාර්ථකත්වය සඳහා අනෙකුත් රාජ්‍ය ආයතනයෙන් ලැබෙන නොමද සහයෝගය ඉතා වැදගත් බවත්ය. ඒ අනුව වතු ජනතාවගේ සුභසාධන කටයුතු විධිමත්ව රාජ්‍ය ප්‍රතිපත්තින්ට අනුකූලව සිදුකරගෙන යාමට ඉදිරියේදී කටයුතු කරන බවත්ය .

ඉදිරි වසරේදී වතු ප්‍රජාවගේ සුබ සාධනය සඳහා මනා සැලසුමකින් යුතුව සාමූහිකව ක්‍රියා කිරීමේ වැදගත්කම මේ අවස්ථාවට එක්වෙමින් දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.

වතු ප්‍රජාවගේ සුභසාධනය ඉහල නැංවීම සඳහා ක්‍රියාකාරකම් රැසක් වැවිලි මානව සංවර්ධන භාරය විසින් සිදුකරයි.වතු ප්‍රජාවගේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් නිවාස ඉදිකිරීම්, පාරවල් ඉදිකිරීම් ,වතුවල වැඩිහිටියන් හා ළමුන් සඳහා සෞඛ්‍ය සායන,ළමා සංවර්ධන මධ්‍යස්ථාන ඇති කිරීම ඒ යටතට අයත්ය.

මේ අවස්ථාව සඳහා වැවිලි මානව සංවර්ධන භාරයේ ප්‍රාදේශීය අධ්‍යක්ෂක රෝහණ දේශප්‍රිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.