කෑගල්ල ආයුර්වේද මූලික රෝහලේ ගෙවීම් ඒකකය ඊයේ (30) සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය මුලිකත්වයෙන් ජනතා අයිතියට පවරනු ලැබිණි.
මෙම ගෙවීම් ඒකකය සබරගමු පළාත් සභාවේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන අතර, එය සබරගමු පළාතේ දෙවන ආයුර්වේද ගෙවීම් ඒකකය ද වේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ආයුර්වේද මූලික රෝහලේ ගෙවීම් ඒකකය කාමර පහකින් ද (05), ඇඳන් විස්සකින් ද (20) පමණ යුක්ත පිරිමි සහ කාන්තා වාට්ටු දෙකකින් ද (02) සමන්විතව සැලසුම් කර ඇත.
දෙස් විදෙස් රෝගීන් සඳහා මෙහි මුදල් ගෙවා ප්‍රතිකාර ලැබිය හැකිය. දේශීය රෝගියෙකුට දින පහක් සඳහා ගෙවන තනි කාමරයක්, ආහාරපාන සමඟ ප්‍රතිකාර සඳහා රුපියල් දාහත්දහස් පන්සීයක (රු.17,500) අවම ගාස්තුවක් ද, විදේශීය රෝගියෙකුගෙන් ඒ සඳහා රුපියල් තිස් දෙදහස් පන්සීයක (රු.32,500) අවම ගාස්තුවක් ද අය කරයි.
මීට අමතරව පංච කර්ම ප්‍රතිකාර ද මුදල් ගෙවා ලබා ගත හැකි අතර, එය රුපියල් දහසක් - පන්දහසක් (රු.1,000 - රු.5,000) අතර අගයක් ගනී.
කෑගල්ල ආයුර්වේද මූලික රෝහලේ ඉහත සියලු ප්‍රතිකාර මේ වන විටත් නොමිලේ ලබා දීම ද සිදු කරයි. ඒ අනුව ඇඳන් 75 යුක්ත භික්ෂු, කාන්තා හා පිරිමි වාට්ටුවලින් සමන්විත වාට්ටු සංකීර්ණයක් ද, බාහිර රෝගී අංශයක් ද මෙහි වේ.
එක් විශේෂඥ වෛද්‍යවරයෙකු ද, ආයුර්වේද වෛද්‍යවරු දහතුන් දෙනෙකු ද, කනිෂ්ඨ සේවකයින් දහයක් ද මෙම නොමිලේ සහ ගෙවන වාට්ටු සඳහා සේවයේ යොදවා ඇත.
දිනකට හාරසීයක් පමණ රෝගීන් බාහිර ප්‍රතිකාර අංශයෙන් සේවය ලබා ගැනීමට මෙම රෝහලට පැමිණේ.
එමෙන්ම එකවර සිය දෙනෙකුට අසුන් ගත හැකි නවීන ශ්‍රවණාගාරයක් ද මෙහි ඉදි කර ඇත.එය රාජ්‍ය හා පෞද්ගලික අංශ අවශ්‍යතාවයන් සඳහා මුදල් ගෙවා ලබා ගත හැකිය.
මේ අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගරිකා ආතාවුද මහත්මීය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතා ,කෑගල්ල නාගරික කොමසාරිස් ඉන්දික ලියනගේ මහත්මා, පළාත ආයුර්වේද කොමසාරිස් ඒ. ඩී. කුමාරගේ මහත්මිය ඇතුළු රාජ්‍ය නිළධාරීන් හා ආයුර්වේද රෝහලේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී වුහ.
























