ශ්‍රී ලංකාව තුළ කාන්තා ව්‍යවසායකයින් නිර්මාණය කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ කාර්යයක් යැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය පසුගිය දා(30) කෑගල්ල වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සඳහන් කළාය.

ඒ මහත්මිය මේ බව සඳහන් කළේ එදින සබරගමුව පළාත් ග්‍රාම සංවර්ධන අමාත්‍යංශය සහ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ “ශ්‍රම අභිමානි 2025” සමාරම්භක අවස්ථාවට එක් වෙමිණි.

වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය බල ප්‍රදේශයේ කාන්තාවන් පනහකට (50) පමණ පුහුණුවක් ලබා දී නව ව්‍යවසායකයින් ලෙස දෙස් විදෙස් වෙළඳපොළ සඳහා හඳුන්වාදීම මෙහි අරමුණය.

ඒ අනුව ඒ නව ව්‍යවසායකයින් විසින් නිෂ්පාදනය කළ පැච් වර්ක්, ප්‍රින්ටින්, බිත්ති සැරසිලි, මඳුරු දැල්, මේස සැරසිලි, ටෙඩි බෙයා, බතික්, කොට්ටඋර, ඇඳ ඇතිරිලි ඇතුළු රැසක් මෙම ප්‍රදර්ශනයට සහ අලෙවියට එක් කර තිබුණි.

දෙස් විදෙස් වෙළඳපොළ සඳහා භෞතික වශයෙන් සහ අන්තර්ජාලය මඟින් අලෙවි අවස්ථා බිහි කිරීමට සබරගමුව පළාත් සභාව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් මඟ පෙන්වනු ඇත.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්)දුලිප් ගම්ලත්, වරකාපොල ප්‍රාදේශීය ලේකම් රංගන සජිව ,පළාත් ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂ ඩබ්ලිව්.ජී.යූ.කුමාරි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.