දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ එකමුතුවෙහි ඉල්ලීමකට අනුව කෑගල්ල දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන් වර්තමානයේ මුහුණපා සිටින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමක් අද (20) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සංවිධානය කර තිබුණි.

මෙහිදී ව්‍යාපාර ලියාපදිංචිය, පරිසර බලපත්‍ර ලබා ගැනීම,සහ භාණ්ඩ අපනයනය කිරීම,අමුද්‍රව්‍ය සපයා ගැනීම, ණය ලබා ගැනීම්,තාක්ෂණික හා වෙළඳපොළ ගැටලු ඇතුළු පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරිණි .

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සියල්ලම නියෝජනය වන පරිදි හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත ව්‍යවසායකයන් සම්බන්ධ වූ මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසිනි.

මෙම වැඩසටහනට අදාළව මධ්‍යම පරිසර අධිකාරිය ,කාර්මික සංවර්ධන මණ්ඩලය ,ජාතික ශිල්ප සභාව ,අපනයන සංවර්ධන මණ්ඩලය, දිසාවන නිලධාරි කාර්යාලය ,ප්‍රාදේශීය සංවර්ධන බැංකු සහ කෑගල්ල ප්‍රාදේශීය සභාව යන ආයතනයන්හි නියෝජිතවරුන්ගේ සහභාගිත්වය ඔස්සේ කර්මාන්ත ශිල්පීන්ට අදාළ ගැටලු පිළිබඳ කරුණු කාරණා රැසක් ඒ අනුව මෙහිදී සාකච්ඡා කෙරිණි.

දිස්ත්‍රික් ව්‍යවසාය සංවර්ධන නිලධාරිනී සකුන්තලා ප්‍රියංගනී මහත්මිය ඇතුළු එම අංශය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී මහත්මිය සහ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ව්‍යවසාය සංවර්ධන නිලධාරීන්, විදාතා,අපනයන සංවර්ධන ,ඵලදායිතා සංවර්ධන යන අංශ වලට සම්බන්ධ නිලධාරීන්, ව්‍යවසායකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.