E M S - (Express Mail Service) ජාත්‍යන්තර කුරියර් සේවාව එකම දිනක දීපව්‍යාප්ත සේවාවක් ලෙස යාවත්කාලීන කරමින් ලංකාවේ දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි කඩිනම් කුරියර් සේවාවක් ලෙස දියත් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවා.

දිස්ත්‍රික් මට්ටමින් තැපැල් කාර්යාල හරහා මෙම ජාලය ක්‍රියාත්මක කරනු පිණිස සංකේතාත්මක වැඩසටහනක් සංවිධානය කළේ 2025 03 08 වැනිදා.
ඒ අනුව මෙම අවස්ථාව සංකේතවත් කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර කුරියර් සේවාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සිදු වුණේ කෑගල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේදී ඉතා විචිත්‍රවත් අයුරින්.
අඬබෙර කරුවකු පෙරටු කොට ගනිමින් E M S ජාත්‍යන්තර කුරියර් සන්නාමය ප්‍රවර්ධනය වන අයුරින් ප්‍රධාන තැපැල් කාර්යාලයේ සිට සාමාන්‍ය ජනතාව, ව්‍යාපාරික ස්ථාන, ත්‍රී රෝද රථ රියදුරන් දැනුවත් කරන අත්පත්‍රිකා බෙදා දෙමින් පෙරහරින් වීදි සංචාරයක නිරත වුණේ කෑගල්ල නගරය පුරා. නැවත එම පෙරහැර නතර වුණේ ආරම්භක ස්ථානය වූ ප්‍රධාන තැපැල් කාර්යාලය අසලින්. ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කරමින් තෑගි පාර්සල්, ව්‍යාපාරික පාර්සල්, සාම්පල හෝ වෙනත් දෑ සුරක්ෂිතව කඩනමින් ගමනාන්තයට රැගෙන යන විශ්වාසනීය ජාත්‍යන්තර කුරියර් සේවාවක් ලෙසත්, විදෙස් ගතව සිටින ළබැදයන් සමඟ ළඟින්ම බැඳෙමින් අඩුම ජාත්‍යන්තර කුරියර් ගාස්තු යටතේ ජනතාවට තම සේවාවන් ඉටුකර ගැනීමටයි මෙම අධිවේගී විදේශ තැපැල් සේවාව ප්‍රවර්ධනය කරන ලද්දේ.
මෙම වැඩසටහනට සබරගමුව නියෝජ්‍ය තැපැල්පතිනී ශෝභා තිලකරත්න, කෑගල්ල තැපැල් අධිකාරී ජයලත් වික්‍රමරත්න, කෑගල්ල තැපැල් ස්ථානාධිපති W. M. C. K. විදුරුපොළ යන මහත්මාවරුන් සහ කෑගල්ල තැපැල් අධිකාරී කාර්යාලයේ හා කෑගල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩල නිලධාරීන් සහභාගි වුහ.

1

2

4

5

6