දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2025 - 2029 එළිදැක්වීම හා රාජ්‍ය ආයතන තුළ අභ්‍යන්තර කටයුතු ඒකක දියත් කිරීම අරමුණු කර ගනිමින් දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම මාර්තු මස 09වන දින අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරිණි.

ඊට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ද එම අවස්ථාවට සූම් ඔස්සේ සජීවීව සම්බන්ධ වූ අතර ඒ සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පත්කර සිටින සුපිළිපන්න නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
රාජ්‍ය නිලධාරීන්ගේ සුපිළිපන්න භාවය තහවුරු කරමින් අල්ලසෙන් හා දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමේ අත්‍යවශ්‍ය වැදගත්කම කෙරෙහි රජය ප්‍රමුඛතම අවධානය යොමුව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය තුළ දූෂණ මැඩලීමේ ක්‍රියාවලියේ ප්‍රධාන මුල පිරීමක් ලෙස රාජ්‍ය අංශය පුරා විනිවිද භාවය ,වගවීම සහ සුපිළිපන්න භාවය පෝෂණය කරන සංස්කෘතියක් නිර්මාණය කර රජයේ සේවාවන් සියලුම පුරවැසියන්ට ඵලදායී ලෙස සැපයීම සඳහා සියලුම රජයේ අමාත්‍යාංශ ,දෙපාර්තමේන්තු සහ ආයතන තුළ අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට ද තීරණය කර ඇත.
ඒ අනුව එලෙස පිහිට වන අභ්‍යන්තර කටයුතු ඒකක හරහා ආයතන තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම ,ආයතනයේ සියලුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම, ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම, විෂමාචාර තොරතුරු හෙළි කරන්නන් ආරක්‍ෂා කිරීම ,නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව සමග සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම ඇතුලු අරමුණු රැසක් ඉටු කර ගැනීමට අපේක්ෂිතයි.
එලෙස ස්ථාපනය කරනු ලබන අභ්‍යන්තර කටයුතු ඒකක හා ඊට අදාල ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳව ද අද රැස් වූ මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.

1

2

3

4