ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන මගින් ග්‍රාමීය සංවර්ධන සැලසුම් සකස් කිරීම පිළිබඳ පුහුණු වැඩසටහනක් 2025.04.23 දින පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදීයි. එක්දින දැනුවත් කිරීමේ වැඩසටහනක් වූ මෙය සංවිධානය කරන ලද්දේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ( සැලසුම්) ඒ. ජේ. එස්. කේ. මධුරසිංහ මහත්මිය විසිනි. දිස්ත්‍රික් සැලසුම් අංශයේ අධ්‍යක්ෂ ඒ. ඒ. වීරකෝන් මහත්මාගේ අධීක්ෂණය යටතේ පැවැත්වූ මෙම වැඩසටහන ආරම්භ කරන ලද්දේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති එච්. එම්. ජේ. එම්. හේරත් මහත්මාගේ ප්‍රධානත්වයෙනි.
ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි දිස්ත්‍රික් මට්ටමින් සෑම ග්‍රාම නිලධාරි වසමක්ම ආවරණය වන සේ මෙම සැලසුම් සකස් කිරීමට ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය විසින් නිර්දේශ කොට දැනුවත් කිරීම් කර ඇති අතර සෑම ග්‍රාම නිලධාරී වසමකටම සංවර්ධන සැලසුමක් සකස් කිරීම සඳහා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය මගින් රු. 10 000 /= බැගින් ප්‍රතිපාදන ද වෙන් කොට තිබේ.
පස් අවුරුදු දීර්ඝ කාලීන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩසටහන පිළිබඳව දීපව්‍යාප්ත මට්ටමින් ලංකාවේ සියලු දිස්ත්‍රික්ක දැනුවත් කිරීමේ වැඩමුළුවක් ක්‍රියාත්මක වූයේ ඉකුත් මාර්තු මස 14 - 15 යන දෙදින තුලයි. ඒ සඳහා කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සැලසුම් අධ්‍යක්ෂ සහ දිස්ත්‍රික් සැලසුම් අංශයේ නිලධාරීන් තිදෙනෙකු සහභාගි වූ අතර 2025.04.23 දින මෙම වැඩමුළුව මගින් සිදු කරනු ලැබුවේ එසේ පුහුණුවලත් නිලධාරීන් මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11හි අදාළ නිලධාරීන් දැනුවත් කිරීමයි.
අනාගත ජයග්‍රහණ ලබා ගැනීම සඳහා අවශ්‍යතා හඳුනා ගනිමින් ග්‍රාමීය ජනතාවගේ ගැටලු හා ඉල්ලීම් පාදක කොට ගනිමින් හා ඒ ඒ දිස්ත්‍රික්කවල ඇති සම්පත්, මානව සම්පත්, භෞතික සම්පත් හා ඉදිරි ආයෝජන අවශ්‍යතා හඳුනා ගනිමින් මෙන්ම ඉදිරි සංවර්ධන අරමුණු දිශාගත කරන්නේ කෙසේද යන්න තේමාව කොට ගනිමින් ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන මෙය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් වූ පසු ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ නිර්දේශ මත ඊට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවයි දිස්ත්‍රික් සැලසුම් අංශයේ අධ්‍යක්ෂ ඒ. ඒ. වීරකෝන් මහතා පවසා සිටියේ.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් මෙම වැඩමුළුව මගින් දැනුවත් වන සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, තාක්ෂණික නිලධාරීන්, සංවර්ධන නිලධාරින් මගින් ග්‍රාම සේවා වසම්වල තාක්ෂණික නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් හා ග්‍රාම සේවා නිලධාරීන් සහභාගී කරගනිමින් ඔවුන් දැනුවත් කොට ඒ ඒ ග්‍රාම සේවා වසමට අදාලව මෙම සංවර්ධන සැලසුම් සකස් කිරීමට පියවර ගන්නා බවයි සැලසුම් අධ්‍යක්ෂ ඒ. ඒ. වීරකෝන් මහතා වැඩිදුරටත් පවසා සිටියේ.
මෙම වැඩසටහනට පැමිණි නිලධාරීන් දැනුවත් කිරීම සඳහා සම්පත් දායකයින් ලෙස මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ යූ. කේ. ප්‍රියන්ත පුෂ්පකුමාර (සැලසුම්), කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්. පී. ඉන්දිකා සේනාරත්න (සැලසුම්), එම්. ඒ. ජේ. එස්.මධුරසිංහ සහකාර අධ්‍යක්ෂ ( සැලසුම්)යන මහත්ම මහත්මීන් සහභාගි වූ අතර මෙම වැඩමුළුව සාර්ථක කරගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, තාක්ෂණික නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් සහභාගි විය.






















