වත්මන් රජයේ ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) සංකල්පයට සමගාමීව ප්‍රජාපාදක ජල මූලාශ්‍ර ආශ්රිත පවිත්‍රතා වැඩසටහනක් පසුගියදා (29) දියත් කෙරුණේ ගලිගමුව ලාහුපන ග්‍රාම සේවා වසමේ පිහිටි ලාහුපන ඇල්ල හෙවත් හරිගල ඇල්ල මුල් කරගනිමින්. දේශීය සංචාරකයන්ගේ නිරන්තරයෙන් නෙත ගැටෙන මෙම ස්ථානය විදෙස් සංචාරකයින්ගේ නෙතට උළෙලක් කරවීම අරමුණු කරගෙනයි පළමු අදියරේ සමාරම්භය සනිටුහන් කරමින් එම වැඩසටහන පැවැත්වුණේ.
ශ්‍රී ලංකා හදවිම අධිකාරියේ මූල්‍යමය දායකත්වයෙන් සහ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කළ මෙම වැඩසටහන මගින් හරිගල දිය ඇල්ල ආශ්රිත ජල මූලාශ්‍රය සංචාරක ආකර්ෂණය දිනා ගැනීමේ කලාපයක් බවට පත් කිරීමට එක් පියවරක් හෝ තැබීමටයි මෙම වැඩසටහන මගින් සිදු කෙරුණේ. ඒ අනුව ඉදිරියේදී පරිසර හිතකාමී වැඩසටහන් කිහිපයක් සිදු කිරීමට ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා හදබිම අධිකාරිය බලාපොරොත්තු වන අතර පළමු අදියර තුළදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ උපරිම උත්සාහයෙන් අවට වටපිටාව සුද්ධ පවිත්‍ර කිරීම, පරිසර සංරක්ෂණය පිළිබඳ දැන්වීම් පුවරු ස්ථාපනය කිරීම, සිමෙන්ති බංකු පිහිටුවීම හා ඒ මත පාරිසරික මතය දියුණු කිරීම සඳහා සිතුවම් ඇඳීම, පාරසරික වටිනාකමකින් යුත් පැළ සිටුවීම හා සංචාරකයින්ට හිතකාමී පරිසර සංවේදී ස්ථානයක් නිර්මාණය කිරීමට උත්සාහ කිරීම එදින සිදුකළ වැදගත් කාර්යයන් අතරින් කිහිපයක්.
ඕනෑම සමාජ ස්ථරයක බිහිවන, වටිනා ස්ථාන විනාශයට පත් කරන පරිසර හිතකාමී නොවන උපසංස්කෘතික කණ්ඩායම්වල ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම ජල මූලාශ්‍රයට එකතු කර තිබූ දිරාපත් නොවන ප්ලාස්ටික්, පොලිතීන්, වීදුරු බෝතල්, බියර් ටින්, කාඩ්බෝඩ් එම පරිසර පද්ධතියෙන් ඉවත් කිරීමට, ආක්රමණික තෘණ ශාක ඉවත් කිරීම හා ඒ අවට වටපිටාව ශුද්ධ පවිත්‍ර කිරීමට ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහ ගලිගමුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රම දායකත්වය ලැබීම වෙසෙසින් අගය කළ යුත්තකි.
මෙම සත්කාරය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මහතා, ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ කෑගල්ල කොට්ඨාසය භාර අතුල සෙනෙවිරත්න මහත්මා, දිලිනි ලංකාදීපති මහත්මිය, හර්ෂ නුවන් මහත්මා, ගලිගමුව ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ගේ සහ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් රැසකගේ ශ්‍රමදායකත්වය හා සහභාගිත්වය හිමිවිය.



































