කෑගල්ල දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කල දිස්ත්‍රික් වැඩිහිටි අවුරුදු උළෙල "දෙටු පුරවැසි" බක්මහ උළෙල අප්‍රේල් 30 වනදා කෑගල්ල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
අවුරුදු සිරිතට මුල් තැන දෙමින් පැවති මෙවර අවුරුදු සැමරුම ආරම්භ කෙරුණේ රබන් සුරල් හඩ මැද ජාතික කොඩිය ඔසවමිනි.අනතුරුව පොල්තෙල් පහන සිලු දල්වා නැකතට ලිප් බැද ගිනි මොලවා කිරි ඉතිර වූයේ දෙටුපුරවැසියන්ගේ ආශිර්වාදය මැදයි. වැඩ ඇල්ලීම,ගනුදෙනු කිරීම , ආහාර අනුභවය,හිසතෙල් ගෑමේ චාරිත්‍රද ගෙන හැර පෑ මෙවර බක්මහ උළෙලේදී ඔන්චිලි වාරම් කාගෙත් අවධානය යොමු වුනු අංගයක් විය.
එමෙන්ම විවිධ ඇදුම් තරගය හා වැඩිහිටි අවුරුදු කුමරා හා කුමරිය තේරීමේ තරග හා නර්තනාංග ගණනාවකින් සුසැදි මෙම උළෙල විශාල පිරිසක්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
සබරගමුව පලාත් සභාවේ සමාජ සේවා දෙපාර්තමේන්තුව හා දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලයේ අනුග්‍රහයෙන් දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරී ඩිලානි කුමාරි මහත්මිය ඇතුලු එම අංශය එක්ව මෙවර අවුරුදු උළෙල සංවිධානය කෙරිණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බණ්ඩාර , කෑගල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතන්ගොඩ යන මහත්මීන්, සබරගමුව පලාත් මූලස්ථාන සමාජ සේවා නිලධාරීතුමන්, කෑගල්ල සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරීතුමිය මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් ඇතුලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා වැඩිහිටි බල මණ්ඩලවල සාමාජිකයන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.



































