ජගත් පරිසර දිනයට සමගාමීව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් අද දින සිට එලඹෙන 05 දින දක්වා පවත්වනු ලබන පාරිසරික ප්‍රදර්ශනය හා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව කෑගල්ල නගර ශාලාවේ දී ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මැයි මස 02 දින පස්වරුවේ දී විවෘත කෙරිණි.
පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කරන වළසා , මුවා , කබල්ලෑවා, කිඹුලා වැනි සතුන් පිළිබඳව ද මෙහි තොරතුරු ඇතුළත් වන අතර මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව , රාජ්‍ය දැව සංස්ථාව , ජල සම්පත් මණ්ඩලය , ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව , ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය , ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව යන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල මෙන්ම දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් කිහිප දෙනෙකුගේ ප්‍රදර්ශන කුටි ද මෙහිදී ඉදිරිපත් කර තිබේ.
ප්‍රදර්ශන භූමියේ ඉදිරිපත් කර ඇති වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදර්ශන කුටිය තුළ සබරගමුව පළාතේ සිටින බිලාල පවුලට අයත් කැළෑ බළලා, හඳුන් දිවියා, කොල දිවියා , කොටියා පිළිබඳ විස්තරාත්මක දැනුවත් කිරීම් සිදු කෙරේ.
මීට අමතරව මෙම ප්‍රදර්ශනයේ දී සමුද්‍රජීවීන් වන මුහුදු ඌරා, ඩොල්ෆින් මත්ස්‍යයා, පොකිරිස්සා, කැස්බෑවා පිළිබඳ ප්‍රදර්ශක භාණ්ඩ සහිතව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වේ.
තවද සබරගමු පළාතේ බහුල වශයෙන් ජීවත් වන මදුවලට හසු වන කොටි බේරාගැනීම , කොටි මිනිස් ගැටුම අවම කරගැනීම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම මෙන්ම වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින මෙවැනි වටිනා සතුන් සංරක්ෂණය කර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මෙම ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වේ.
එම උත්සව අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සාගරිකා අතාවුද මහත්මිය ඇතුලු දේශපාලන අධිකාරිය, කෑගල්ල දිසාපතිතුමන් ,අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් ,වනජීවී අධ්‍යක්ෂ ජනරාල්තුමන් , පරිසර අමාත්‍යංශයට අයත් විවිධ ආයතන ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.



































