රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කරන "ඇසි දිසි - පියවර" කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළුවක් මැයි මස 06 වන දින ප. ව. 12.00 සිට ප. ව. 5.00 දක්වා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එම්. එස්. කේ. ජේ. බණ්ඩාර මහත්මාගේ ප්‍රධානත්වයෙන් සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් / දිසාපති එච්. එම්. ⁣ජේ. එම්. හේරත් මහත්මාගේ සහභාගිත්වයෙන්.


ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ දැනුම, කුසලතා සහ වෘත්තීය හැකියාවන් වර්ධනය කිරීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වූ අතර රජයේ ප්‍රවෘත්තිය අධ්‍යක්ෂ ජනරාල් තුමන් විසින් අරමුණු පැහැදිලි කිරීමෙන් හා දිසාපතිතුමන් විසින් "කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධනය" පිළිබඳ අදහස් දැක්වීමෙන් අනතුරුව මෙම වැඩසටහන ආරම්භ විය.
මෙහිදී "මාධ්‍ය ආචාර ධර්ම සහ ශ්‍රී ලංකාවේ වත්මන් මාධ්‍ය භාවිතය" මැයෙන් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා මහත්මා විසින් දේශනයක් පැවැත්වූ අතර ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති, ප්‍රවීණ සාහිත්‍යවේදී, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහත්මා විසින් "ශ්‍රී ලංකාවේ මාධ්‍යයන්හි භාෂා භාවිතය" මැයෙන් හරවත් දේශනයක්ද සිදු කරන ලදී.
ඉන් අනතුරුව විශේෂ දේශනයක් සිදු කරමින් ජනාධිපති මාධ්‍ය උපදේශක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහත්මාද මෙම වැඩසටහනට දායකත්වය දැක්වූ අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන මෙම සම්පත්දායක ත්‍රිත්වය විසින් වැඩසටහනට සහභාගි වූ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් එම ගැටලු සමාලෝචනය කිරීමටත් මෙම වැඩසටහන අවස්ථාවක් කර ගන්නා ලදී. ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහත්මාගේ රස වින්දනාත්මක සංගීතය මුසු වූ භාෂා භාවිතයත්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටලු නිරාකරණයත් සමගින් පරිසමාප්ත සුභාවිත මාධ්‍ය වැඩමුළුවක් ලෙස මෙම වැඩසටහන සමාප්තියට පත්විය.
මෙම වැඩමුළුව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ කාර්යභාර නිලධාරී ඩී. එම්. ධම්මිකා පේමසිරි මහත්මිය විසින් සංවිධානය කරන ලද අතර අතිරේක දිස්ත්‍රික් ලේකම් ටී. කුසුම් බණ්ඩාර මහත්මියත්, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත මහත්මාත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ තිලකරත්න ලියනපටබැඳි (සන්නිවේදන) මහත්මාත්, කෑගල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී මහත්මියත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශයේ සියලු නිලධාරීන් මේ සඳහා සහභාගි විය.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13