ජාත්‍යන්තර වැඩිහිටි දිනය සෑම වසරකම ඔක්තෝබර් පළමුවැනිදා සමරනු ලැබේ. ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය දිනෙන් දින වැඩි වෙමින් පවතින අතර ඔවුන්ගේ සෞඛ්‍ය හා සුභසාධනය සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව, එළඹෙන ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව, ඔක්තෝබර් 01 සිට 07 දක්වා වැඩිහිටි සතිය සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කෙරේ. මේ සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ඊයේ (13) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඒ අනුව, ඔක්තෝබර් පළමු දින දිස්ත්‍රික් වැඩිහිටි දින සැමරුම, දෙවන දින සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියන් යන තේමාව යටතේ වැඩසටහනක්, තුන්වන දින වැඩිහිටි ප්‍රජාව බලගැන්වීමේ වැඩසටහන්, සිව්වන දින ග්‍රාමීය වැඩිහිටි කමිටුව ප්‍රවර්ධනය කිරීම සඳහා කොඩි අලෙවියක්, පස්වන දින නව තාක්ෂණයෙන් වැඩිහිටියන් යන තේමාව යටතේ වැඩසටහනක්, හයවන දින ධර්මයෙන් පෝෂණය වූ වැඩිහිටියන් යන තේමාව යටතේ දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් සහ අවසාන දිනයේදී පිරිසිදු ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට අනුකූලව ළමා හා තරුණ ප්‍රජාව සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතය.
තවද, වැඩිහිටි දිනයට සමගාමීව, වැඩිම දරුවන් සංඛ්‍යාවක් බිහි කළ මව, හොඳම වැඩිහිටි සභාව, හොඳම වැඩිහිටි ග්‍රාමීය කමිටුව, හොඳම වැඩිහිටි ව්‍යවසායකයා සහ හොඳම වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානය සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමට ද නියමිතය.
මෙම සාකච්ඡාව සංවිධානය කරන ලද්දේ දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරීනී ඩිලානි කුමාරි මහත්මිය ඇතුළු දිස්ත්‍රික් වැඩිහිටි අංශය විසිනි.
අතිරේක දිස්ත්‍රික් ලේකම් (පරිපාලන) කුසුම් බණ්ඩාර මහත්මිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරීන් සහ වැඩිහිටි සභා සභාපතිවරුන් පිරිසක් සමඟ සාකච්ඡාවට සහභාගී වූහ.





















