කෑගල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු තවදුරටත් කාර්යක්ෂමව හා විධිමත්ව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් කොන්ත්‍රාත් කටයුතු සම්බන්ධ පාර්ශ්ව සමඟ විශේෂ සාකච්ඡාවක් ඊයේ (26) දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී කොන්ත්‍රාත් සමාගම් මුහුණ දෙන ගැටලු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කෙරිණි. ඇප බැඳුම්කර ආකෘති සම්බන්ධ ගැටලු, ටෙන්ඩර් සඳහා අවම මුදල් සීමාව, ඉදිකිරීම් කටයුතු සඳහා භාවිත කරන ඇලුමිනියම් භාණ්ඩවල සම්මත මිල ගණන්, මිල ඉහළ යාම් සහ ඒ සඳහා ගෙවීම්, වැලි මිල ඉහළ යාම සහ බිල්පත් ගෙවීම් ප්‍රමාද වීම වැනි කරුණු මෙහිදී අවධානයට ලක් විය.
ඇප බැඳුම්කර නිවැරදිව සම්පූර්ණ නොකිරීම හේතුවෙන් අඛණ්ඩව ලංසු ප්‍රතික්ෂේප වීම පිළිබඳවද කොන්ත්‍රාත් සමාගම් දැඩි අවධානය යොමු කළේය. එමෙන්ම කොන්ත්‍රාත්කරුවන්ට අලාභ සිදු නොවන අයුරින් නිවැරදිව ලංසු ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කරන ලෙසද මෙහිදී දැනුවත් කරන ලදී.
මාස තුනකට වැඩි කාලයක් පවතින ඉදිකිරීම් සඳහා මිල ඉහළ යාම් සම්බන්ධ ගෙවීම් පිළිබඳව ජාතික මට්ටමේ ප්‍රතිපත්තිමය තීරණයක් ඉදිරියේදී ගැනීමට නියමිත බවත්, මාස තුනකට අඩු කාලයක් තුළ අවසන් වන ව්‍යාපෘති සඳහා පවතින අසාමාන්‍ය මිල ඉහළ යාම් සම්බන්ධ ගැටලුද එමඟින් විසඳීමට හැකි වනු ඇති බවත් සඳහන් විය. එසේම ටෙන්ඩර් සඳහා අවම මුදල් සීමාව සම්බන්ධයෙන්ද ඉදිරියේදී ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට නියමිත බව දැනුම් දෙන ලදී.
ඇලුමිනියම් නිෂ්පාදන සිදු කරන සමාගම් සම්බන්ධ කරගැනීම, කොන්ත්‍රාත් සමාගම් සඳහා පුහුණු අවස්ථා ලබාදීම සහ බිල්පත් සැකසීම සම්බන්ධයෙන් නිසි පුහුණුවක් ලබාදීම කෙරෙහිද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.
මෙම අවස්ථාවට එක්වූ පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි මහතා, මෙම වසර තුළ කාර්යක්ෂම සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පවතින බැවින් සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය ඇතිව එම කටයුතු සාර්ථක කර ගැනීමට සහාය වන ලෙස ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ඊ.කේ.ඒ. සුනීතා මහත්මිය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත මහතා, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඉන්දික සේනාරත්න මහතා, දිස්ත්‍රික් ඉංජිනේරු සරණාත් විමලචන්ද්‍ර මහතා, සබරගමුව පළාත් සභා නිලධාරීන්, තාක්ෂණික නිලධාරීන්, කොන්ත්‍රාත් සමාගම් නියෝජිතයින් සහ ඉදිකිරීම් ක්ෂේත්රයට අදාළ රාජ්‍ය ආයතන නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.




























