පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් 85 වැනි වරටත් අභිමානවත් ලෙස පැවැත්වීමට නියමිත කැගලු මිහිඳු මහා පෙරහර සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් අද (02) පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි මහතාගේ සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජී.එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී කැගලු මිහිඳු මහා පෙරහරට අදාළව අලි ඇතුන් සම්බන්ධීකරණය, පෙරහර හා නගර අලංකරණය, ගමන් මාර්ග සැකසීම, ජලය හා විදුලි පහසුකම්, ජංගම වැසිකිළි පහසුකම්, පෙරහරේ සහ නරඹන්නන්ගේ ආරක්ෂාව, පෙරහර අවසානයෙන් පසු නගර පිරිසිදු කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව අදාළ ආයතන සහ නිලධාරීන් සමඟ පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ඒ අනුව, ලබන ජූලි මස 04 වැනි දින රාත්‍රියේ පැවැත්වීමට නියමිත 85 වැනි කැගලු මිහිඳු මහා පෙරහර සාර්ථකව සංවිධානය කිරීම සඳහා අවශ්‍ය සියලු සම්බන්ධීකරණ කටයුතු ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණි.
මෙම අවස්ථාව සඳහා සිව් කෝරලයේ ප්‍රධාන සංඝනායක හිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නය, හෙම්මාතගම සිද්ධාර්ථන විහාරාධිපති ස්වාමීන් වහන්සේ, කෑගල්ල නගර සභාවේ ගරු සභාපතිතුමා, විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂතුමා, දිස්ත්‍රික් දේශපාලන නියෝජිතයින්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය ආයතන නිලධාරීන්, දායක සභා නියෝජිතයින් සහ සංවිධාන කමිටු සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
























