එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරනු ලබන "සත්යාලෝක" පොසොන් කලාපය – 2026 වැඩසටහනේ මූලික සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජී.එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙවර "සත්යාලෝක" පොසොන් කලාපය ලබන මස 29 සහ 30 යන දෙදින තුළ සවස 6.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා කෑගල්ල නිදහස් භූමියේදී පැවැත්වීමට නියමිතය.

එම දෙදින තුළ වෙසක් කූඩු හා පහන් කූඩු තරඟ සහ ප්‍රදර්ශන, බෞද්ධ බැති ගී ප්‍රසංග, බෞද්ධ නාට්‍ය දර්ශන, දන්සැල්, සැල්පිල් සහ තොරණ ප්‍රදර්ශනය ඇතුළු ආගමික හා සංස්කෘතික වැඩසටහන් රැසක් සංවිධානය කිරීමට සැලසුම් කර ඇත.

මෙහිදී අදාළ රාජ්‍ය ආයතන වෙත පැවරෙන වගකීම්, අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සහ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ආරක්ෂක අංශ, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, ස්වේච්ඡා සංවිධාන, වෙළඳ සංගම් ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය ලබා ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට අනුනායක මහා සංඝනායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය, විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පතිතුමන්, පින්නවල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්, කෑගල්ල මහ නගර සභාවේ ගරු සභාපතිතුමන්, පින්නවල ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති ස්වාමීන් වහන්සේ, දුනුකෙවත්ත සීලවිමල ස්වාමීන් වහන්සේ, දේශපාලන නියෝජිතයින්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් සහ සංවිධාන කමිටු සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.