කෑගල්ල දිස්ත්‍රික්කයේ ළමා හා කාන්තා සංවර්ධන විෂය ක්ෂේත්‍රයට අදාළ දිස්ත්‍රික් ළමා හා කාන්තා සංවර්ධන අනුකමිටු රැස්වීම ඊයේ (16) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම රැස්වීම කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හා දිස්ත්‍රික් ළමා හා කාන්තා සංවර්ධන අනුකමිටුවේ සභාපතිනි ශ්‍රීමති සාගරිකා ගංගනී අතුකෝරාල මහත්මියගේ සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජී. එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දිස්ත්‍රික් ළමා හා කාන්තා සංවර්ධන ක්ෂේත්‍රයට අදාළ ගැටලු, අවශ්‍යතා හා යෝජනා සාකච්ඡා කිරීම, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වෙත ඉදිරිපත් කළ යුතු කරුණු හඳුනා ගැනීම, එහිදී ගනු ලබන තීරණ පළාත් පාලන හා ජාතික මට්ටමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම මෙම අනුකමිටුවේ ප්‍රධාන අරමුණ වේ. එහිදී 2026 වර්ෂයේ පළමු හා දෙවන කාර්තුවල ප්‍රගතිය ද ඉදිරිපත් කෙරිණි.

පසුගිය අනුකමිටු රැස්වීමේදී ගනු ලැබූ තීරණවල ප්‍රගතිය සමාලෝචනය කිරීම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ව්‍යවසායක දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම, කාන්තා ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන රංවල පේෂකර්ම මධ්‍යස්ථානය වෙත යොමු කිරීම, ප්‍රදේශයේ සංවර්ධන විභවතා හඳුනා ගැනීම සඳහා සමීක්ෂණ පැවැත්වීම, ගර්භණී මව්වරුන්ට ලබාදෙන පෝෂණ මල්ල වැඩසටහන විධිමත් කිරීම සඳහා ගබ්සා හා ළදරු උපත් පිළිබඳ තොරතුරු ලබාගැනීම සහ ප්‍රාදේශීය ලේකම් මට්ටමින් උප්පැන්න සහතික නොමැති දරුවන්ට උප්පැන්න සහතික ලබාදීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

පරිවාස කාර්යාලවලට අදාළ කරුණු, ළමා ආරක්ෂණ ස්වේච්ඡා නිවාස, රජයේ ළමා නිවාස හා රැඳවුම් නිවාසවල පවතින ගැටලු, පාසල් දරුවන් අතර ඉහළ යමින් පවතින මත්ද්‍රව්‍ය හා විෂද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ පාසල් අවට අනාරක්ෂිත ස්ථාන පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එමෙන්ම ගෘහස්ථ මට්ටමින් ක්‍රියාත්මක කාන්තා සමිති හරහා ළමා ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ පණිවිඩ සමාජගත කිරීම සහ එම සමිතිවල දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.

මෙම අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බණ්ඩාර මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී මහත්මිය, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ, පළාත් සභා හා මධ්‍යම රජයේ නිලධාරීන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ (පූර්ව ළමාවිය සංවර්ධන අධිකාරිය), කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, දිස්ත්‍රික් පෝෂණ කමිටුවේ නියෝජිතයන්, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් සහ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ළමා හා කාන්තා සංවර්ධන ඒකකවල නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.